පිහාටුවක අගිස්සක

0
292

දවස් කීපයක් එක දිගට ලියලා මහන්සියි.
තවත් ලියන්න බෑ ටික දවසක් නිකන් පැත්තකට වෙලා ඉන්නවා කියලා හිතුවත් එහෙම කරන්න විදිහක් නෑ.
වගකීමක බරක් උරහිස මත දැනෙද්දි අයෙත් හුස්මක් අරගෙන පැත්තකින් වාඩි වෙලා ලියන්න ගන්නවා.
මනුස්සයෙක්ට ජීවිතයෙන් පැවරෙන වගකීමක් තියනවා කියලා මම විශ්වාස කරනවා.
එක අතීත මිනිස් පරම්පරාවක් විසින් වගුරවන ලද වෙහෙසක වගකීමක්.
මේ මොහොතෙ මගෙ.
ඊලග මොහොතෙ තව කගෙ හරි උර මත ඒ වගකීමේ බර පැටවෙනවා.
එහෙම තමයි මේ ශිෂ්ටාචාරය පැවත ගෙන ආවෙ.
අනාගතයටත් එහෙම තමයි.
මට තියෙන්නෙ මේ මොහොත විතරයි.
ඊලග මොහොත මට අයිති නෑ .
අතීතය ගැන හිතමින් ඉන්න එක තේරුමක් නෑ.
ඒ නිසා වෙහෙස නොබලා මේ මොහොතේ මගේ වගකීම ඉෂ්ට කරන්න ඕනෙ.
කවුරුවත් ඒක දැක්කත් නැතත්.. අගය කලත් නැතත් පැවරෙන වගකීම වෙනුවෙන් වෙහෙස වෙන එකම තමයි සතුට.
සමහර මිනිස්සුන්ට විවේක ගන්න දවස් තියනවා.. ඒක ඇත්තට ම හොදයි.
නමුත් මම හිතන්නෙ මනුස්සයෙක් විවේක ගන්න ඕනෙ වෙහෙස වුනහම, නැත්තම් වැඩක් ඉවර වුනහම. එතකොට තමයි විවේකයට තේරුමක් තියෙන්න තියෙන්නෙ.
විවේකය කියන්නෙත් අලුත් අදහසක් නිෂ්පාදනය කරගන්න මොහොතක්.
ඒ විවේකය ප්‍රයෝජනවත් යමක් වෙනුවෙන් යොදා ගන්න ඕනෙ.
පොතක් පතක් එක්ක, සිංදුවක් එක්ක , චිත්‍රපටියක් එක්ක යාලුවො එක්ක, පවුලෙ අයත් එක්ක ඒ මොහොත ගෙවනකොට වෙහෙස නැතිවෙනවා.
ආයෙත් මුල ඉදන් වැඩ කරන්න හිත අලුත් වෙනවා, සැහැල්ලු වෙනවා.
හරියට පිහාටුවක අගිස්සක දැනෙන සැහැල්ලුව වගේ.
කාටවත් බෑ අපේ ජීවිතේට තේරුමක් දෙන්න.. තේරුම දෙන්නෙ තමන් ම තමයි. ජීවිතේට තේරුම දෙන්නෙ අපි කියන දෙයින් නෙවෙයි කරන දෙයින්. ඉතින් ඔබට පැවරෙන වගකීම වෙනුවෙන් අවංක වෙන්න. වෙහෙස වෙන්න.

මට ලියන්න කියාදීපු සහෝදරයා මුලින්ම කියපු දේ තමයි, “ලියන දේ අවංකව ලියන්න කියලා.” ඒ පාඩම තමයි අනිත් හැම දෙයකදිමත් පාඩම විදිහට මම භාරගන්නෙ.


චන්දිම කාරියවසම්

Leave a Reply