අපි ගැන

නුර්සියා හී ශු.බෙනදික් මුනිදුන් විසින් සයවන ශතවර්ෂයේ අරඹන ලදුව වර්ධනය වූ බෙනදිකාන මහා පැවිදි හවුලේ අනු ශාඛාවක් වන සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන තාපස නිකාය 13 ශතවර්ෂයේ ඔසිමෝ හී ශු.සිල්වෙස්තර් ගුසොලීනි තුමන් විසින් ආරම්භ කරන ලදී. ක්‍රි.ව. 1248 දී සිව්වන ඉනසන්ට් පාප්තුමන් අතින් ශුද්ධාසන අනුමැතිය හිමිකරගත් මෙම නිකාය වසර 600ක් පමණ ඉතාලිය තුළ පමණක් ව්‍යාප්තව පැවතිණි. 1845 දී ගරු.ජෝසප් මරිය බ්‍රාවි සා.බෙ.නි. හිමිපාණන් ශ්‍රීලංකාවට පැමිණීම අප නිකාය ලොව පුරා ව්‍යාප්ත වීමට තැබූ පළමු අඩිතාලම විය. ලක්දිව කිතුනු සභාව නව යුගයට ඔබින පරිදි හැඩගැස්වනු සඳහා සිල්වෙස්ත්‍රීන පියවරුන් අප්‍රතිහත ධෛර්යයකින් යුතුව කටයුතු කරන ලදි. ඒ අනුව කතෝලික විශ්වාසය, අධ්‍යාපනය, සංස්කෘතිය, ජනවන්දනාව සහ ගොඩනැගිලි නිර්මාණ ශිල්පය වැනි ක්ෂේත්‍රයන් තුළ කඩිනම් වර්ධනයක් සිදුකිරීමට ඔවූහු සමත් වූහ. ප්‍රථමයෙන් දකුණු අනුපදවිය තුළ (කොළඹ, මහනුවර,බදුල්ල සහ ගාල්ල ප්‍රදේශ ඇතුළත්වූ) හා ඉන් පසුව දිවයිනේ මධ්‍යම පළාත ඇතුළත් වූ මහනුවර රදගුරු පදවියේ මෙන්ම ඉන් පසුව ඇති කළ බදුල්ල රදගුරු පදවිය තුළ දේව ජනතාවට සේවය කරමින් කිතු සසුන පෝෂණය කර ඇත්තෙමු. වර්තමානය වන විට අප සිල්වෙස්ත්‍රීන ශ්‍රී ලංකා ප්‍රාදේශිකයේ තාපසවරුන් පනස්දෙනෙක් පමණ මීසම් සේවය, පාසැල් සේවය, උපාධ්‍ය සේවා, විදේශ ධර්මදූත සේවා, ඥානකාන්ති මධ්‍යස්ථාන, යාච්ඤාවේ අපෝස්තලික සේවා ආදී විවිධ ක්ෂේත්‍ර තුලින් තම බෙනදිකාන තාපස කැඳවීම හරහා දේව සේවයට කැපවී සිටී.