යුගයක මතකය 01

0
548

සිරිලක කිතු සසුනේ සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන සලකුණ

හෙළ කිතු සසුනේ ජනප්‍රිය ඓතිහාසික කතිකාව තුල හමුවන සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන තාපසවරුන්ගේ දූත මෙහෙවර පිළිබඳ පරිච්ඡේදය යාවත්කාලින කරනුවස් මෙම ලිපි මාලාව ලිවීමට අරමුණු කරමි. මෙහිලා අවශ්‍යයෙන්ම සඳහන් කළ යුතු අතිශය වැදගත් කාරණා කිහිපයක් ප්‍රථමයෙන් සඳහන් කරනු කැමැත්තෙමි. ලක්දිව සේවය සඳහා සැපත් වීමෙන් වසර 175ක් සපිරෙන මෙම වසරේදී එය කරණකොටගෙන සැමරීමට නියමිත ජුබිලි මංගලෝත්සවය සඳහා ඓතිහාසික පදනමකින් යුත් පසුබිමක් සකස් කිරීම මෙහි අභිමතාර්ථයයි . එමෙන්ම සාම්ප්‍රදායික හෙළ කිතුනු ඓතිහාසික ධාරාවේ ප්‍රමාණික වශයෙන් ඉතා සුළු වශයෙන් සාකච්ඡාවට පාත්‍ර වන, එනමුත් සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන පැවිදි සංඝයේ අපට සුවිශේෂී වූ මෙම අවස්ථාවට පමණක් සීමා නොවී, ලක්දිව සමස්ත කිතුනු ප්‍රජාවටම ඉමහත් වූ ගෞරවාභිමානයෙන් යුතුව සෑම කල්හී සිහිපත් කළ හැකි, සිහිපත් කළ යුතු, හෙළ කිතු පුරාණයේ මෑත ඉතිහාසයේ යුග පුරුෂයන් පිළිබඳව අතීතාවර්ජනයක් කිරීමටද මෙමගින් අපේක්ෂා කරමි. මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන රදගුරුවරුන් ප්‍රමුඛ මිෂනාරිවරුන් කළ කී දෑ ඇතුළත් සියලු ලිපි ලේඛන සහ වාර්තා (ජේසු නිකායික ගරු.විටෝ පර්නියෝලා පියතුමන් සම්පාදනය කර ඇති The Catholic Church in Sri Lanka වෙළුම් සහ ඒ ඇසුරින් ප්‍රකාශයට පත්වූ ග්‍රන්ථද සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික ගරු බීඩ් බාකට්ටා පියතුමන් විසින් රචිත The Sylvestro-Benedictine Prelates and The Sri Lankan Church ග්‍රන්ථයද පරිශීලනය කිරීමෙන් ලබාගත් තොරතුරු) ඇසුරින් පමණක් එදවස අතීතය සර්ව සම්පුර්ණව ප්‍රතිනිර්මාණය කිරීමට නොහැකි වුවත්, එවැනි ඓතිහාසික විමර්ශනයක් සඳහා යම් මාර්ගයක් විවෘත කරගත හැකිවේය යන ප්‍රාර්ථනය මත ශාස්ත්‍රීය සහ ජනප්‍රිය කතිකාවන්හි සුසංයෝජනයක් තුළින් මෙම ඓතිහාසික සංසිද්ධීන් විග්‍රහ කිරීමට උත්සහයක් දරමි.

පසුබිම
16 වන සියවසේ යුරෝපීය යටත්විජිතකරන ක්‍රියාවලිය ඔස්සේ සිදුවූ යුරෝපීය බල ව්‍යාප්තිය සමග කිතු දහම මෙරටට පැමිණියේය යන පොදු ව්‍යවහාරය තුල පවතින ඓතිහාසික කරුණ යලි යලිත් ප්‍රශ්න කිරීම තුලින් සාවද්‍ය බව දැක්වීමට හැකියාවක් ඇති ඓතිහාසික සාධකයන් විශාල ප්‍රමාණයක් පවතින බැවින් කිතු දහම මෙරට ඉතිහාසය පුර විවිධ කාල වකවානු වලදී විවිධ ස්වරූප වලින් පැවති බව සඳහන් කිරීම උචිතය. එසේනම් අවම වශයෙන් ලංකා ඉතිහාසය තුළ යුරෝපීය ආගමනයත් සමග උදාවන නුතන යුගයේදී පැවති කිතුදහමේ ස්වරූපයන් පිළිබඳව මෙවැනි වාස්තවික අදහසක් ලබාගත හැකිය. ඒ අතරින් පෘතුගීසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ කාල සීමාවේදී පද්‍රෝආදෝ (PADROADO) ගිවිසුම (PADROADO ගිවිසුම හෙවත් සභා ආරක්ෂක භාරය ගිවිසුමට අනුව දේශ ගවේෂණයේ යෙදුණු ප්‍රබල කතෝලික යුරෝපීය බලවතුන් යුගලය වූ පෘතුග්‍රීසී හා ස්පාඤ්ඤ රාජ්‍යයන්ට පිලිවෙලින් යුරෝපයෙන් නැගෙනහිරින් හා බටහිරින් පිහිටි රටවල් වල කිතුදහම ප්‍රචාරය කිරීමේ අනුමැතිය ශුද්ධාසනය විසින් පවරා දෙනු ලැබිය. ඒ අනුව ඔවුන් යටතේ පවතින යටත් විජිතවල කිතුදහම ප්‍රචාරය කිරීමේ සෑම කටයුත්තක්ම ඍජුවම අධීක්ෂණය කෙරුනේ දෙරටේ පාලන තන්ත්‍රයන් විසිනි) යටතේ මෙරට ප්‍රචාරය කළාවූ රෝමානු කතෝලික දහමත් ඉන් අනතුරුව මෙරට මුහුදු තීරය යටත් කරගත් ඕලන්ද ජාතීන් විසින් මෙරට ව්‍යාප්ත කළ ප්‍රොතෙස්තන්ත රෙපරමාදු ක්‍රිස්තියානි දහමත් මූලික කොට සැලකිය හැකිය.
මෙම කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන් හෙළදිව කතෝලික සභාවේ උන්නතිය සඳහා සිය දිවි දෙවැනි කොට සේවයට කැපවූ ශු. ජුසේවාස් මුනිදුන් සහ පඬිවර ජාකෝමේ ගොන්සාල්වෙස් පියවරුන් මුල්කොටගත් අභීත විරුවන් පිළිබඳ මතකයන් අදටත් අප අතර නොනැසී පවතියි. තවද ලන්දේසි පීඩන හමුවේ යුරෝපීය ධර්මදුතවරුන් මෙරටට පැමිණීමට පවා පසුබට වූ සමයක මෙරටට රහසිගතව පැමිණ කතෝලික විශ්වාසය ආරක්ෂා කරමින්ද කතෝලිකයන්ගේ මතු අනාගත පැවැත්ම උදෙසා එතුමන්ලා විසින් ඇති කළාවූ අධ්‍යාත්මික, භෞතික හා විඥානමය නවෝදයන් සඳහා එතුමන්ලාට අප සදා කෘතඥපුර්වක වන්නෙමු. ඒ අනුව ගෝවේ ඔරතොරියානු නිකායික පියතුමන්ලා 18 වන සියවස මුළුල්ලේම දිවයින තුළ විසිරී සිටි කතෝලික බැතිමතුන්ගේ මූලික අධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළහ.

ශු. ජුසේවාස් පියතුමන්
මහනුවර නියඟය අවස්ථාවේ යාච්ඤා කරමින් ප්‍රාතිහාර්යාත්මකව වැසි වැස්සවීම
ගරු.ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා
හෙළ කිතුනු සාහිත්‍යයේ පුරෝගාමියා

මුල් අවධියේදී මහනුවර රජුගේ අනුග්‍රහය යටතේ එම රාජධානිය තුළ කතෝලික දහම කිසිදු බාධාවකින් තොරව ප්‍රචාරය කෙරුණූ අතර 1746 දී ඔරතොරියානු පියවරුන්ව මහනුවර රාජධානියෙන් පිටුවහල් කෙරුණූ පසු වන්නි දිස්ත්‍රික්කයේ සහ පසුව පුත්තලම සහ හලාවත ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ද පසුකාලීනව ලන්දේසි බල ප්‍රදේශ වල පවා සේවය කිරීමට ඔවුනට ඉඩ සැලසිනි. සිංහල රජු හා ලන්දේසීන් සමග ඉතා සුක්ෂම සමබර සබඳතා පවත්වගනිමටද මොවුන් කටයුතු කළහ. ඒ අනුව ලන්දේසි පාලනයේ අවසාන දශක කිහිපය තුළ යම් සහනකාරී තත්වයක් කතෝලිකයන් හට ලබාදී තිබූ බවට ද සාක්ෂි ඇත්තේය.

බ්‍රිතාන්‍ය ආගමනය, ආගමික නිදහස සහ දේශීය වශයෙන් නව ක්‍රිස්තියානි ප්‍රජාවන් ව්‍යාප්ත වීම
18 වන සියවසේ අවසාන දශකයේ මෙරටට පැමිණෙන බ්‍රිතාන්‍යයන් ලන්දේසීන්ට නතුව තිබූ මෙරට ප්‍රදේශ වල පාලන බලය සියතට ලබාගැනීමත් සමග කතෝලික දහම ප්‍රචාරය හා ඇදහීම සඳහා පෙර පැවති බාධක ක්‍රමයෙන් ලිහිල් කිරීමේ ක්‍රියාවලියද ආරම්භ කෙරුණි. 1806 අංක 04 දරන ආඥාපණත නිකුත් කරමින් රෝමානු කතෝලිකයන් හට පුර්ණ ආගමික නිදහස ලබා දීම එහි උච්චතම අවස්ථාව වශයෙන් දැක්විය හැකිය. ( මේ වන විට මුළු දිවයිනේම පාලන බලය බ්‍රිතාන්‍යයන් යටතේ නොවූ බැවින් මෙම ආඥාපණත ක්‍රියාත්මක වූයේ ඔවුන් යටතේ පැවති මුහුදුබඩ ප්‍රදේශ තුළ බව සඳහන් කළ යුතු අතර පසුව 1832 දී මුළු දිවයිනටම එම කොන්දේසි ක්‍රියාත්මක විය.)
19 වන සියවසේ ආරම්භක දශක කිහිපය තුළ බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය හා අනුග්‍රහය සහිතව මෙරටට පැමිණි අනෙකුත් ක්‍රිස්තියානි සභාවන්ද සිය ධර්ම ප්‍රචාරක කටයුතු ඉතා සීඝ්‍රයෙන් දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කළහ. ඒ අනුව එංගලන්ත සභාව (Church of England/ඇන්ග්ලිකානු සභාව *පසුව මෙය ලංකා සභාව ලෙස හැදින්විණි) ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාව, බැප්ටිස්ට් සංගමය, ගැලවීමේ හමුදාව සහ ඇමෙරිකානු-ලංකා මිෂනාරි සංගමය එසේ පිහිටවූ ප්‍රමුඛ පෙළේ නව ක්‍රිස්තියානි සභාවන් අතර විය. මොවුන් සමග පෙර පැවතියාවූ ඕලන්ද රෙපරමාදු සභාව සහ රෝමානු කතෝලික සභාවද ඇතුළත් සමස්ත විශ්වාසික ප්‍රජාව “ක්‍රිස්තියානින්” යන පොදු අනන්‍යතාවයෙන් ස්වදේශීක සමාජය තුළ හදුන්වනු ලැබිණි.
මෙවැනි වූ සංකීර්ණ වපසරියක, එනම් පොදු ‘ක්‍රිස්තියානි’ අනන්‍යතාවය තුළ රෝමානු කතෝලිකයන් වශයෙන් මෙරට තුළ ස්ථාවර පදනමක් සහිත අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමටද දිගු කාලින සැලසුම් සහිත ක්‍රියාවලියක අවශ්‍යතාවය මතුවිය. එබැවින් එම ක්‍රියාවලියේ මෙහෙයුම්කරුවන් පිළිබඳව සහ ඔවුන්ගේ සේවය පිළිබඳව සංක්ෂිප්තව හෝ රචනා කිරීම අතිශයෝක්තියක් නොවේ යයි විශ්වාස කරමි.

ආගමික නිදහසින් පසු කතෝලික සභාව
ගෝවේ ඔරතොරියාන පියවරුන් ලංකාවේ සේවය කිරීමට ආරම්භ කළ කාල වකවානුව සමග සසඳන විට මෙම නව සමාජ-දේශපාලනික තත්වය බොහෝ සෙයින් වෙනස් වුවකි. ලන්දේසි පීඩන හමුවේ සරල දිවිපෙවතකට සහ සරල ලෙස තම ආගම ඇදහීමට හුරුවී සිටි සුවහසක් කතෝලිකයන්ට මෙන්ම ඉතා ප්‍රාථමික අධ්‍යාත්මික අවශ්‍යතා සඳහා අවධානය දෙමින් කටයුතු කළ ඔරතෝරියාන පියවරුන්ටද මෙම නව ආගම ඇදහීමේ නිදහසත් සමග මෙරට පැවති ක්‍රිස්තියානි නොවන අනෙකුත් ආගම් මෙන්ම අලුතින් හදුන්වාදෙනු ලැබූ ක්‍රිස්තියානි ආගම් සමග උරිනුර නැගීසිටීමට මෙම සරල පිළිවෙත් හා ක්‍රම පමණක් නොසෑහෙන බව පසක් විය. 1832 බ්‍රිතාන්‍ය රජය ක්‍රියාත්මක කළ කෝල්බෘෘක්- කැමරන් ප්‍රතිසංස්කරණ ඔස්සේ ඇරඹුණු වර්ධනීය තත්වයන් සමග ඉස්මතු වූ කාලින අවශ්‍යතාවයන්,විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබීම වැනි අත්‍යවශ්‍ය කාරණාවලදී පවා කතෝලිකයන් හට අන් පාර්ශව මත යැපීමට සිදුවීම වැනි අවස්ථා හරහා කතෝලික ප්‍රජාවට සිය අධ්‍යාත්මික නායකයින් ලෙස කටයුතු කළ ඔරතොරියාන පියවරුන්ගේ උදාසීන බව කෙරෙහි යම් ප්‍රශ්නාර්ථයක් ඇතිවිය. මෙම තත්වයන් උග්‍ර අතට හැරීමත් සමග කතෝලිකයන් තවදුරටත් මෙම පියවරුන්ගේ සේවය කෙරෙහි තැබූ ගෞරවපූර්වක විශ්වාසයෙහි පළුදුවීම් ද ක්‍රමයෙන් හට ගැනුණි. කෙසේ නමුත් සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක් ද ඇති බව සිහියට නගමින් මේ කාල වකවානුවේදී එනම් වඩා නිවැරදිව කිවහොත් 1836 දෙසැ.23 දින ශ්‍රී ලංකාව කොචින් පදවියෙන් වෙන්වූ ස්වාධීන අපෝස්තලික අනුපදවියක් ලෙස ශුද්ධාසනය විසින් රෝමයේදී ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව නව අනුපදවියේ පළමු රදගුරුවරයා (Vicar Apostolic) ලෙස ඔරතෝරියාන නිකායික ඇති උතුම් වින්සන්ට් ද රොසයිරෝ රදගුරුතුමන්ව 1838 දෙසැ.9 දින අභිෂේක ගන්වන ලදී.

පද්‍රෝආදෝ සහ ප්‍රොපගැන්දාව අතර වියවුල
පද්‍රෝආදෝ ගිවිසුම යටතේ ලංකාවේ සේවය කළ ගෝවේ ඔරතෝරියාන නිකායික පියවරුන් සිය බැටළු රැළ කාලයට ඔබින ලෙස පෝෂණය කිරීමට දැක්වූ ඇල්මැරුණු ස්වභාවය සලකා බැලූ රෝමයේ ‘විශ්වාසය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ සංඝය’ හෙවත් ප්‍රොපගැන්දාව (Congregation for the Propagation of Faith) ශ්‍රී ලංකාවේ සේවය සඳහා යුරෝපීය මිෂනාරි පියවරුන් එවීමට කඩිනම් තීරණයක් ගත නමුත් එහි ආරම්භය වියවුල් සහගත විය. පළමුව ඒ සඳහා යුරෝපීය මිෂනාරීන් සොයා ගැනීම ඉතා දුෂ්කර වූ අතර එසේ එවනු ලැබූවන් සහ ලංකාවේ එවකට සිටි ඔරතෝරියානුවන් අතර ඇතිවූ අර්බුදකාරී තත්වයන් හමුවේ එම පියවර පිළිබඳ යළි සිතාබැලීමට රෝමයට සිදුවිය. නිදසුනක් ලෙස ශ්‍රී ලංකා අනුපදවිය භාරව සිටි අති උතුම් (ක)ගයිතානෝ අන්තෝනියෝ රදගුරුතුමන්ගේ සහයක(Coadjutor) ලෙස පත්කර රෝමයෙන් එවන ලද ඉතාලි ජාතික ඔරාසියෝ බෙටකීනි පියතුමා මෙරට කතෝලික සභාව උදෙසා කැපවී සේවයේ යෙදුනද ඔරතෝරියාන පියවරුන් සමග එක්වී කටයුතු කිරීමට අපොහොසත්වීම නිසා ගැටළුකාරී වාතාවරණයක් ඇති වීමත් සමග විශ්වසිකයින් හට මෙය අවාදර්ශයක් වේයැයි සිතූ රෝමය මෙම තත්වය පාලනය කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව ආදේශකයක් ලෙස තෝරාගත් ඉතාලි ජාතික පැවිදි නිකායක් වූ සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන පැවිදි සංඝයේ තාපස පියතුමෙක් වූ ගරු. ජෝසෙප් මරිය බ්‍රාවි සා.බෙ.නි පියතුමන්ව ලංකාවේ සේවය සඳහා පිටත් කර හරින ලදී.

මීළඟ කොටසින් “බ්‍රාවි රදගුරුහිමිපාණන් පිළිබඳව” …

ඩොම්. කෝකිල ප්‍රනාන්දු සා.බෙ.නි සහෝදරතුමා https://slcchistory.wordpress.com/

Leave a Reply