ශුද්ධ ලියවිල්ල හා කිතුනු ජීවිතය

0
498

පසුගිය කොටස හා සම්බන්ධ වේ …

  1. දේව අනාවරණය පිළිබදව කතෝලික සභාවේ නිල ඉගැන්වීම් දෙවන වතිකාන මන්ත්‍රණ සභාව විසින් නිකුත් කරන ලද සිද්ධාන්තවාදී සංස්ථිතයක් (Dogmatic Constitution) වන “දේයි වෙර්බුම්” (Dei Verbum- දේව වචන) හී සදහන්ව ඇත. ඉහත කී ලේඛනය දෙවන වතිකාන මන්ත්‍රණ සභාවට සභාගි වූ සභා පියවරුන්ගේ බහුතරයෙන් සම්මතවූ හෙයින් ද, 23 වන ජුවාම් ශුද්ධෝත්තම පියතුමන් ගේ මැදිහත්කමින්ද ලියැවුනු හෙයින් ද එය සතුව ඉහලතම ඉගැන්වීම් අධිකාරිය සතුය.
  2. දේයි වෙර්බුම් හී පෙර වදන අනුව ශුද්ධවූ සභාව සිය ධර්මදානී (evangelization) කටයුතු වලට නියැලීමට පෙර දේව වචනයට මනාව ඇහුම්කන් දිය යුතු බව අනාවරණය කරයි. ඉන් ගම්‍ය වන්නේ ශුද්ධාසනය, දේව වචනය ඉදිරියේ නිහතමානී ග්‍රාහකයෙකුගේ කාර්යය සිදු කළ යුතු බවත්, දේව වචනය ශුද්ධවු සභාව අභිබවා යන පුළුල් යතාර්ථයක් බවයි. මෙම ලේඛනය අනුව දේව වචනය යනු පුද්ගලයෙකි. ඔහු නම් මාංශගතවූ වචනයාණෝ වන වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේය. උන්වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ස්වඅනාවරණයේ (self revelation) සම්පූර්ණ ප්‍රතිමූර්තිය අන්තර්ගත බවත් පසුගිය කාණ්ඩයේ අප සදහන් කළෙමු.
    දෙවියන්වහන්සේගේ අනාවරණය මනුෂ්‍යයන් වන අපට අභිරහසකි. එහි ගුප්තභාවයට හේතුව වන්නෙ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් සන්නිවේදනය කරනුයේ වෙනස් තලවල හෙයිනි. එහෙත් මෙම අභිරහසෙහි යම් අංග මනුෂ්‍යයන්ට අවධාරණයකිරීමට හැකි වන්නේ දෙවියන්වහන්සේගේ මූර්ත (concrete) දර්ශකයන් වන වචන (verba) හා ක්‍රියා (gesta) මගින් මනුෂ්‍යය ඉතිහාසය පුරාවටම සිය අනාවරණය සන්නිවේදනය කළ හෙයිනි. මෙම ස්වඅනාවරණය හුදෙක් ඉතිහාසයේ සිදුවූ දෙයක් යැයි කීම සාවද්‍යය. උන්වහන්සේගේ උච්චතම අනාවරණය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිදු වුවත් එය අවසානය නොවේ. උන්වහන්සේ සිය මැවීම තුළ ඉතිහාසය පුරාවටද , වර්තමානයේ ද සිය කැමැත්ත හෙළි කරන සේක. ජේසුස් වහන්සේ සිය “වචන හා ක්‍රියා” වලින් ද සලකුණු හා ප්‍රාතිහාර්ය තුළින් ද දෙවියන්වහන්සේව වඩාත් සුහදව අනාවරණය කළ අතර උන්වහන්සේ සමග ඍජු සම්බන්ධතාවයක් ගොඩනැගුවේය. ජේසුස් වහන්සේ සිය දුක්විදීම, මරණය හා උත්ථානය මගින් දෙවියන්වහන්සේ හා මුලු ලෝ සංහතිය සමග නව සදාකාලික ගිවිසුමක් ස්ථාපිත කළ සේක. මෙම ක්‍රිස්තියානි දේව නියමය (christian dispensation) අවසාන, පරම නියමය (final, ultimate and definite) වන්නෙය. ඒ නිසා අනුගාමිකයන් ක්‍රිස්තුස්වහන්සේගේ මහිමාන්විත නැවත පැමිණීමේ බලාපොරොත්තුවට කිසිදු අනාවරණයක් බලාපොරොත්තු නොවිය යුතුය. එහෙත් මෑත කාලයේදී සිට විවිධ පුද්ගලයන් විසින් දෙවියන් වහන්සේ පෞද්ගලිකව ඔවුන්ට විවිධ අනාවරණයන් කළ බවට සාක්ෂි දරා ඇත. සැබෑ ක්‍රිස්තු අනුගාමිකයෙකු ලෙස මෙම වාර්තා සූක්ෂම විඥාණයට භාජනය කළ යුතුය. මක්නිසාදයත් දෙවියන් වහන්සේ, උන්වහන්සේ අනාවරණය කළ දෑට පරස්පර විරෝධී හෝ හාත්පසින්ම වෙනස් අනාවරණයක් සිදු නොකරන නිසාය. විඥාණය (discernment) කිරීමේ කාර්යයට ශුද්ධවු සභා මාතාව කැපවී ඇත්තේ ශුද්ධවු සභාවේ මතිමතාන්තර බලාත්මක කිරීමට නොව දේව අනාවරණය නිරවද්‍යව සියලු මනුෂ්‍යයන්ට  සම්ප්‍රේෂණය (transmission) කිරීමේ වගකීමට ඇය කැපවී ඇති හෙයිනි.
    ශුද්ධවු සභාව දේව අනාවරණය සංරක්ෂණය කරන කෞතුකාගාරයක් වැන්නක් ද නොවේ. මන්ද දේව අනාවරණය සදහටම මනුෂ්‍යයන් අතර පැවතීමට එය පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කළ යුතුය. ක්‍රිස්තු අනුගාමිකයන්, ශුද්ධවු සභාවේ නිශ්චිතතාවයෙන් ලබා ඇති දේව අනාවරණයට, ශු. පාවුළු තුමන් සදහන් කර ඇති ආකාරයට “විශ්වාසයේ අවනතබව” (obedience of faith) පෙන්නුම් කළ යුතුය. දේව අනාවරණය දෙවියන්වහන්සේගේ නිදහස් කැමැත්තෙන් සිදුවූ නිසා ම ක්‍රිස්තු අනුගාමිකයන් එයට ප්‍රතිචාර දැක්විය යුතුය. අප දේව අනාවරණයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද ? අප මුලු හදින් ම, මනසින් ම, අධිෂ්ඨානයෙන් ම හා ආත්මයෙන්ම උන්වහන්සේට භාරවීමෙන් ය. මෙය විශ්වාසයේ අවනත බව ලෙස හැදින්විය හැක. මෙම අඥාව පිළිපැදීම මනුෂ්‍යයන් ලෙස අපට අසීරු කාර්යයකි. එහෙත් අප බලාපොරොත්තු සුන් නොකර දුර්වල මනුෂ්‍යයන්ගේ විශ්වාසය නගා සිටුවීමට ක්‍රිස්තුස්වහන්සේ තම සමුගැනීමේ තිළිණය ලෙස ශුද්ධාත්මයාණන් අපට ලබා දුන්සේක. ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් අප දේව අනාවරණයේ අභිරහස හොදින් අවබෝධ කරගැනීමට හැකිය. එහෙයින්, විශ්වාසය (faith) මනුෂ්‍යය ප්‍රතිචාරයක් පමණක් නොව එය ශුද්ධාත්මයාණන් වහන්සේගේ දායාදයකි. දේව වචනය කියවීමට පෙර මෙම දායාදය ලබාගැනීම සදහා ක්‍රිස්තු අනුගාමිකයන් ශුද්ධාත්මයාණන් වහන්සේ ව අයැදින්නේ දේව වචනය මනාව අවබෝධ කර ගැනීම සදහාය. ශුද්ධාත්මයාණන් වහන්සේ කිතුනු විශ්වාසය තර කරන අතරම උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ස්වඅනාවරණය කිසිදු දෝෂයකින් දූෂිත නොවී මනුෂ්‍ය බුද්ධිය ආධාරයෙන් අවබෝධ කළ හැකි බව අවධාරණය කර දෙයි.
    දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේ පියවරුන් දේව අනාවරණය පිළිබද තවත් වැදගත් සංකල්ප දෙකක් ඉදිරිපත් කරයි. එනම්;

  3. දේව අනාවරණය සදාකාලිකව මනුෂ්‍යයන් අතර පැවතීම.

  4. දේව අනාවරණය පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය කිරීම දෙවියන්වහන්සේගේ අභිප්‍රාය වූ බවයි.

මෙම කර්තව්‍යයන් යුගලය   ක්‍රිස්තුන් වහන්සේ සිය අපෝස්තුළුවරුනට භාරදීමෙන් හැගීයන්නෙ මෙම කාර්‍යයන් මනුෂ්‍යයන් විසින් සිදුකළ යුතු බවයි. අපෝස්තුළුවරුන් හා ඔවුන්ගේ සගයන් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභ අස්න විශ්වාසවන්තව ප්‍රකාශ කළ අතර ක්‍රිස්තුස්වහන්සේගෙන්ම ලද හෝ ශුද්ධාත්මාණුභාවයෙන් ලද දෑ සම්ප්‍රේෂණය කලහ.
පළමුව වාචිකව සම්ප්‍රේෂණය වූ ශුභ අස්න ක්‍රමිකව ශුද්ධාත්මාණුභාවයෙන් ලේඛන ගත විය. එම නිසා මුල් කිතුණු සභාව තුළ දේව වචනය සම්ප්‍රේෂණය වූ ආකාරයන් දෙකක් අපට නිරීක්ෂණයකළ හැක. එනම්;

  1. සිරස්ව – ක්‍රිස්තුස් වහන්සේගෙන් හෝ ශුද්ධාත්මාණුභාවයෙන් ලද දේව අනාවරණය.
  2. තිරස්ව – අපෝස්තුළුවරුන්ගේ මූලික ධර්මදේශනයෙන් (කෙරිග්මා) ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් වූ රදගුරුවරුන්ට සම්ප්‍රේෂණය වීමයි.

මෙලෙස, දේව අනාවරණය නොකඩවා පරම්පරාවන්ට සම්ප්‍රේෂණය වූ බව දේයි වෙර්බුම් ලේඛය අවධාරණය කරයි.
ක්‍රිස්තුස් වහන්සේ පදනම් වූ දේව අනාවරණය පසුව අපෝස්තුළුවරුන්ට ද, ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන්ට ද නොකඩවා සම්ප්‍රේෂණය වීමෙන් “සම්ප්‍රදාය” (tradition) බිහිවිණ. මෙම සම්ප්‍රදාය ශුද්ධවූ සභාවේ ඉගැන්වීම වල හා ශුද්ධවු සභාවේ ඉගැන්වීම් වල හා ශුද්ධ වූ ලියවලි වල සංස්ථිතිය වන්නේය. ශුද්ධවු සම්ප්‍රදාය හා ශුද්ධ ලියවිලි යුගලය තුළ දෙවියන් වහන්සේගේ ගැලවීමදායක පණිවිඩය අන්තර්ගත වී ඇත.

මීලගට- ශුද්ධ වු ලියවිලි හා ශුද්ධ වු සම්ප්‍රදාය


ඩොම් මිගෙල් කාසිචෙට්ටි සා. බෙ. නි

Leave a Reply