ශුද්ධ ලියවිල්ල හා කිතුනු ජීවිතය

0
580

ලාංකීක සමාජයේ විවිද වු ධර්මයන් අනුගමනය කරන පුද්ගලයන් සිටිති. බුද්ධ ධර්මය, හින්දු ධර්මය, ඉස්ලාම් ධර්මය සහ කිතුණු ධර්මය ඉන් ප්‍රධාන වෙයි. මෙම ධර්මයන් හතරේම මනුශ්‍ය ජීවිතයට බලපාන දෘශ්‍යමාන විශ්වයේ (cosmic) හා විශ්වයෙන් බැහැර (meta-cosmic) තිබෙන යතාර්ථයන් පිළිබද අර්ථකතනයන් ලබා දෙයි. මනුෂ්‍ය ආත්මයේ විපාකය, කර්මය යන යතාර්ථය පිළිබද අර්ථකතනයන් ලබාදෙති. එම ආගම් වල ප්‍රථිපත්ති අන්තර්ගතවී ඇති, එහි අනුගාමිකයන් ශුද්ධවු ලෙස සලකන ග්‍රන්ථ ඇත. බුද්ධ ධර්මයෙහි ත්‍රිපිටකයත්, හිංදු ධර්මයෙහි වේද සාහිත්‍යත්, ඉස්ලාම් ධර්මයෙහි අල් කුරාණය සහ කිතුණුවන් ශු. බයිබලයත් භාවිත වෙයි.
බයිබලය : බිබ්ලොස් (Byblos) යන ග්‍රීක වචනයෙන් බිදී එන්නකි. එහි අර්ථය “පොත් ” යන්නය. මෙම ශුද්ධ බයිබලය “දේව අනාවරණය”(Divine inspiration) මත ලියැවී ඇති බව කිතුණු විශ්වාසයයි. ශුද්ධවූ බයිබලයේ ප්‍රධාන කතෘ දෙවියන් වහන්සේ බවත් මනුෂ්‍යයා එහි සහය කතෘ (co-author) බවත් කිතුණුවන් විශ්වාස කරති. ඒ අනුව ශු. බයිබලයේ අන්තර්ගතය දෙවියන් වහන්සේගේ ස්වයං අනාවරණය (self reveletion) ය. උන්වහන්සේ විවිද කාල වකවානුවල මනුෂය ඉතිහාසය තුළ තම ස්වඅනාවරණය අත්දැකීමට මනුෂ්‍යයන්ට අවස්තාවක් සලසා දුන් සේක. “දෙවියන් වහන්සේ ආදි යුගවල දී, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද, දිවසිවරයන් මගින් අපේ පියවරුන්ට කතා කළ සේක. එහෙත් දැන් මේ අවසාන කාලයේ දී උන් වහන්සේ සිය පුත්‍රයාණන් මගින් අපට කතා කළ සේක.” (හෙබ්‍රෙව් 1:1).
කාලයට හා අවකාශය ට සීමා නොවූ උන්වහන්සේව, කාල අවකාශය ට සීමාවූ මිනිසාට දෙවියන්වහන්සේගේ ස්වඅනාවරණය මුලුමනින්ම තේරුම් ගැනීමට නොහැකිය. දේව අනාවරණයේ අත්දැකීම මිනිසා සන්නිවේදන කිරීමට තමන්ට හුරු පුරුදු භාෂාව සහ ජීවන අත්දැකීම් භාවිත කරන ලදි.
ජිවිතයේ විවිධ අත්දැකීම් වෙනත් අයෙකුට ප්‍රකාශ කිරීමට භාවිත කරන වචන වලට ජීවිත අත්දැකීම මුලුමනින්ම කැටි කරන්නට අපහසු බව අපගේ අත්දැකීමයි. එබැවින් දේව අනාවරණය අත්දැකි පුද්ගලයෙක් එම අත්දැකීම වාර්ථා කිරීමෙදී එය පුර්ණ වශයෙන් ග්‍රහණය කර ගැනීමටත් නැවත ප්‍රකාශ කිරිමටත් අපොහොසත් වන බව අප තේරුම් ගත යුතුය. නමුත් දේව අත්දැකීම ප්‍රකාශ ප්‍රයත්නය මුළුමනින්ම අසාර්ථකයැයි කීමද සාවද්‍යය.
දෙවියන් වහන්සේගේ ස්ව අනාවරණයෙහි මනුෂ්‍ය අත්දැකීම පළමුව ප්‍රකාශ වුයේ වාචික සම්ප්‍රදාය අනුවය. පසුව කාලයාගේ ඇවෑමෙන් එම වාචික සම්ප්‍රදායේ හුවමාරු වූ දේව වචනය ලේඛන කිරීමට අවශ්‍යතාවය ඇතිවිනි. දේව වචනය ලේඛන ගත කිරීමට විවිධ කාලවකවානු වල ජීවත්වූ විවිද පුද්ගලයන් උත්සහ කර ඇත. මිත්‍යා කතා පූවත්, ඓතිහාසික කතා පුවත්, ගීතිකා, නීති මාලා වැනි මනුශ්‍යන්ට හුරු පුරුදු සාහිත්‍යමය අංග භාවිත කොට ඇත. ශු.බයිබලය තුළ ද මෙම විවිද සාහිත්‍යමය අංග වල විචිත්‍රත්වය අපට හමුවේ.
ශු. බයිබලය තුළ සමහර සිද්ධින් කීප විටක් වාර්තා වී ඇත. නිදසුනක් ලෙස ලෝකය මැවිල්ලෙ සිද්ධිය දෙවතාවක් උත්පත්ති පොතෙහි පලමු වන හා දෙවන පරිච්චේදයන්හී හමුවේ. ජේසුස් වහන්සේගේ ජීවිතය වාර්ථාවෙන සුභාරංචි හතරක් ශු.බයිබලයේ සදහන්ව ඇත. මෙවැනි සිද්ධින් නැවත නැවත ශු. බයිබලයේ වාර්ථා වීමෙන් අපට ඉන් වඩාත් නිරවද්‍ය කුමක් දැයි යන ප්‍රශ්නය ඇසීමට පෙලබෙයි. එහෙත්, අප මෙම විවිධත්වය තේරුම් ගත යුත්තේ දේව අනාවරණය විවිධ පුද්ගලයන් අත්දකින ලද හා තේරුම් ගත් ආකාරයේ විවිධත්වය ලෙසය.
දේව අනාවරණයේ පරස්පර විරෝධීතා නැත. එම නිසා දේව අනාවරණයේ විවිධත්වය මනුෂ්‍යයන් විසින් අංග සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීමට දැරූ උත්සහය දේව වචනය පරිශීලනයේ දී අපට ගම්‍යවෙයි.
දෙවියන් වහන්සේ තමන් වහන්සේව අනාවරණය කරන ලද්දේ හුදෙකලාව ජීවත්වෙන තනි පුද්ගලයෙකුට නොව මිනිස් සංඝයකට ය. එම අනාවරණය සාමූහිකව තේරුම් ගැනීමට ඔවුන් උත්සහ දරා ඇත. ශු. බයිබලයේ අන්තර්ගත ඉතිහාසය තුළ දෙවියන්වහන්සේ පළමුව තමන්ගේම ජනතාව ලෙස තෝරාගත් ඊශ්‍රායෙල් ජනතාවට තමන්වහන්සේව අනාවරණය කළ සේක. ඊශ්‍රායෙල් ජනයා කණ්ඩායමක් ලෙස එය තේරුම් ගත්තෝය.
ශු. බයිබලයට අනුව දේව අනාවරණයේ පරිපූර්ණත්වය සිදුවුයේ ජේසුස් වහන්සේ තුළය. ජේසුස් වහන්සේ තුළ, “ධර්මයාණෝ මිනිස් බව රැගෙන අප අතර වැඩ විසූ සේක.” (ජුවාම් 1:14) ජේසුස් වහන්සේගේ මාංශගත වීම දේව අනාවරණයේ උච්චතම අවස්ථාව නිසා ශු. බයිබලයේ සදහන් සෑම දේව අනාවරණයක්ම තේරුම් ගත යුත්තේ මෙම උච්චතම දේව අනාවරණයේ ආලෝකයෙනි. ක්‍රිස්තු ධර්මයේ ශුද්ධවු ග්‍රන්තය ශු. බයිබලය වුවත් එම ධර්මයේ මූලික පදනම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් දේව මනුෂ්‍යයා ය.

ඉදිරියට… “දේව අනාවරණය”


ඩොම් මිගෙල් කාසිචෙට්ටි සා. බෙ. නි

Leave a Reply