යුගයක මතකය 2

0
653

සිරිලක කිතු සසුනේ සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන සලකුණ

පසුගිය කොටස හා සබැඳේ…

යුග පෙරළියේ පෙරගමන්කරුගේ ආගමනය
13 වන සියවසේ ශු. සිල්වෙස්තර් ගුසොලිනිතුමන් විසින් ඉතාලියේ ෆබ්‍රියානෝ හි ආරම්භ කරන ලද සිල්වෙස්ත්‍රීන නිකාය, බෙනදිකාන මහා පැවිදි හවුලේ ශාඛාවක් ලෙස පුරා සියවස් 6කට ආසන්න කාලයක් ඉතාලිය තුළ ව්‍යාප්ත වෙමින් තිබූ තාපස නිකායක් විය. එහි තාපස පියතුමෙකු වශයෙන් සේවය කරමින් සිටි තරුණ ඩොම් ජෝසප් මරිය බ්‍රාවි ඉංග්‍රීසි භාෂාව හැදෑරීම සඳහා රෝමයේ නැවතී සිටි කාලයේදී ඔහුට මුණ ගැසුණු ඉන්දියාවේ සේවය කළ ප්‍රංශ ජාතික ජින් ලුකට් පියතුමන් ඇසුරින් ලබාගත් තොරතුරු මත එවැනි රටක ස්වදේශිකයන්ව පැවිදි ජීවිතය සඳහා පුහුණු කරවීමට සිය කැමැත්ත පලකරමින් ප්‍රොපගැන්දාවට , විශේෂ කොට එහි සිටි කාදිනල් ෆ්‍රන්සෝනි හට ලිපි මගින් දන්වා තිබිණි.

ඒ අනුව ප්‍රොපගැන්දාවේ නිර්දේශය මත 1845 මාර්තු 12 දින රෝමයෙන් පිටත් වූ බ්‍රාවි පියතුමා ඇලෙක්සැන්ඩ්‍රියාවට( ඊජිප්තුව) පැමිණි පසු එහි සිටි ස්පාඤ්ඤ ජාතික සිස්ටර්ෂියාන නිකායික පියවරුන් දෙපළක් වූ ෆියොරෙන්සෝ ගාර්ෂියා සහ ෆ්‍රොයිලානෝ ඔරූනා සමග එකතු විය. එහිදී ඔවුන්ගේ නැව් ගාස්තු සඳහා අවශ්‍ය මුදල් පවා ඔවුනට ලැබී නොතිබුන හෙයින් ඔවූහු ගොඩබිමින් සුවෙස් බලා ගමන් කර නැවක් පැමිණෙන තුරු බලා සිටියහ. සාමාන්‍ය ලියාපදිංචියක් සඳහා වත් මුදල් නොතිබුණු බැවින් මොවුන් තිදෙනා නැවේ ගමන් කරන ධනවත් යුරෝපීයයන්ගේ සේවකයන් ලෙස කටයුතු කරමින් නැව් තට්ටුව මත නිදාගැනීමට අවසර ලබාගත්හ. එසේ ඉන්දියාවට පැමිණ මන්ගලෝර් සිට පොන්ඩිචෙරි දක්වා වූ අති දුෂ්කර ගොඩබිම් මාර්ගයේ වනසතුන්,සුළි කුණාටු සහ කොලරා වසංගතය තිබූ ප්‍රදේශ වැනි බාධක පසුකරමින් ඔවුන්ගේ පළමු නැවතුම්පල කරා ළඟාවිය. එහි මොන්සිඤ්ඤෝර් බොනාඩ් සමග සති කිහිපයක් ගත කිරීමෙන් අනතුරුව 1845 අගෝස්තු 14 වන දින කොළඹට සේන්දු විය. ඒ වන විට බ්‍රාවි පියතුමා අවුරුදු 32ක තරුණ පියතුමෙක් විය.

මෙතැන් පටන් බ්‍රාවි පියතුමන්ට ලංකාවේ සිටි යුරෝපීය මිෂනාරිවරුන්ගේ සහ ගෝවේ ඔරතෝරියාන පියවරුන් අතර සුහදතාව,සමගිය වර්ධනය කරන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට සිදුවී ඇති බව පෙනේ. මෙම දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගැනීමද අති දුෂ්කර කාර්යයක් වී ඇති අතර ඒ සඳහා තිබූ එකම භාෂා මාධ්‍යය ලතින් බස වීමත් බ්‍රාවි පියතුමන් එය ප්‍රගුණ කර තිබීමත් ඊට මහඟු අස්වැසිල්ලක් වී තිබේ. නවක යුරෝපීය පියවරුන් තිදෙනා මෙරටට පැමිණි විගසම ඔවුන්ව ධර්මදුත සේවයේ යොදවනු නියාවෙන් බ්‍රාවි පියතුමන්ව මීගමුව ප්‍රදේශයටත් ඔරූනා පියතුමන්ව ගාල්ලට සහ ගාර්ෂියා පියතුමන්ව ත්‍රිකුණාමලයට අනුයුක්ත කරන ලදි. මේ අතරවාරයේදීම ඉතාලි ජාතික ඔරාසියෝ බෙටකීනි පියතුමන්ව ශ්‍රී ලංකා අනු පදවියේ රදගුරු සහයක (Coadjutor ) තනතුරට උසස් කිරීමට ශුද්ධාසනයෙන් පැමිණි තීන්දුවත් සමග පෙර සඳහන් කළ දෙපාර්ශවය අතර වියවුල් සහගත තත්වය තීව්‍ර අතකට හැරුණි.

බ්‍රාවි පියතුමන්ගේ ධර්මදුත සේවාවන්
තම සේවා කාලයේ ආරම්භය මෙසේ ව්‍යාකුල තත්වයක පැවතියද බ්‍රාවි පියතුමන් සිය දේව ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් හා යුතුකම් සෑම විටකම නොපිරිහෙලා ඉටු කිරීමට අමතක නොකළේය.සිය ප්‍රථම සේවා මධ්‍යස්ථානය වූ මීගමුවේ එවකට සිටි 30000ක් පමණ වූ කතෝලික විශ්වසිකයින් වෙතද විශේෂ කොට එතුමන් භාරයේ පැවති පළඟතුරේ, පල්ලන්සේන, තෝප්පුව, මුරුතනේ,හල්පේ,කඳවල, බෝලවත්ත, ගොඩැල්ල සහ සින්ද්‍රාතිය ප්‍රදේශ වල කතෝලික ප්‍රජාවට ආදර්ශමත් යහපත් එඬේරෙකු ලෙස මෙතුමා සේවය කළ අතර වැල්ලවීදිය දේවස්ථානය මෙතුමාගේ නවාතැන්පල, නැතහොත් ඔහුගේම වචන වලින් “කුඩා ආසන දෙව්මැදුර” විය.

ඉතා කෙටි කාලයක් තුළදී දේශීය ජන ජීවිතයට සහ භාෂාවන්ට හුරුවෙමින් මීගමුවේ සේවය කළ බ්‍රාවි පියතුමන්ව නැවතත් යුරෝපීය සමාජයක් වෙත යොමුකරමින් පිටකොටුවේ ශු. පිලිප්නේරි දේවස්ථානය භාරව සහ බ්‍රිතාන්‍ය හමුදාවේ උපාධ්‍ය පියතුමන් වශයෙන් සේවය කිරීම සඳහා කොළඹට කැඳවනු ලැබීය. එහි සිටි වසර 11ක කාලවකවානුව තුළ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතා වලදී මෙන්ම ව්‍යසනකාරී කොලරා වසංගත කාලවලදී පවා මෙතුමා දක්වන ලද මානුෂික සැලකිල්ල හේතුවෙන් සොල්දාදුවන් අතර බ්‍රාවි පියතුමා නිතැතින් ප්‍රශංසාවට ලක්විය. එමෙන්ම කතෝලිකයන්ගේ අයිතීන් වෙනුවෙන් නොබියව පෙනී සිටීමටත් කතෝලිකයන්ට විරුද්ධව නැගෙන චෝදනා හා අභියෝග හමුවේ නොසැලී පිළිතුරු සැපයීමටද බ්‍රාවි පියතුමන්ට මෙහිදී සිදුවිය. බ්‍රිතාන්‍ය ජාතිකයින් හට මෙතුමන් කළ සේවය නිසා නිරන්තරයෙන් රාජ්‍ය නිලධාරීන් පවා මෙතුමා ගැන බොහෝ සෙයින් පැහැදී සිටි අතර පසු කාලවලදී පවා එම හැඳුනුම්කම් කතෝලිකයන් වෙනුවෙන් පෙනීසිටීම සඳහා මෙතුමාට රුකුලක් විය.මෙරට කතෝලික සභාව තුළ ගොඩනැගෙමින් තිබූ භේදයට පමණක් නොව මේ කාලය තුළ රටේ ඉස්මතු වෙමින් තිබූ අර්බුදකාරී වාතාවරණය තුළ (විශේෂයෙන්ම 1848 කැරැල්ල) කතෝලික ජනතාව බ්‍රිතාන්‍ය රජය සමග මෙන්ම ස්වදේශීය ජන කණ්ඩායම් සමගද සාමකාමී ලෙස හැසිරවීමේ වගකීම ධර්මදුත පියවරුන් සතුවූ කාර්යයක් වූ අතර බ්‍රාවි පියතුමන්ද එහි වගකිවයුතු කොටස්කරුවෙකු විය.

1848 දී ඒ. රේනාඩ් පියතුමන්ගෙන් පසු රජයේ පාසල් කොමිසමේ කතෝලිකයින්ගේ නියෝජිතවරයා ලෙස කටයුතු කිරීමට බ්‍රාවි පියතුමන්ට පැවරුණි. රජයේ පාසල්වල අධ්‍යාපනය හදාරන කතෝලික දරුවන්ට මෙන්ම සමස්ත කතෝලික ශිෂ්‍ය ප්‍රජාවගේද අයිතිවාසිකම් සුරැකීමට මෙතුමා කොමිසම ඉදිරියේ පෙනී සිටියේය. මෙතුමාගේ මෙවැනි වූ අද්විතීය ක්‍රියා කලාපයන් හමුවේ කතෝලික පූජක පක්ෂය කෙරෙහි සමාජයේ පැවති ප්‍රසාදය වඩ වඩාත් ඉහල නැංවිණි.

ශ්‍රී ලංකාව අනු පදවි දෙකකට බෙදීම
දිගින් දිගටම වර්ධනය වෙමින් තිබූ කතෝලික විශ්වසිකයින්ගේ ප්‍රමාණය හේතුවෙන් ශුද්ධාසනය විසින් පෙරදී සිදු කළ ලෙස අනු පදවි සුළු සංඛ්‍යාවක් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ඇති කිරීම කඩිනමින් යලි සංශෝධනය කර එම සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ව්‍යාපෘතියක් 1840 දශකයේ ආරම්භ වී තිබිණි. පොන්ඩිචෙරි රදගුරු වසමේ සේවය කරමින් සිටි තරුණ පියතුමෙකු වූ ජීන්-ෆිලික් ඔනෙසිමේ ලුකට් 1844 දී රෝමයට ගිය අවස්ථාවේදී මේ සඳහා යෝජිත සැලසුමක් වශයෙන් ඒ වන විට තිබූ අනුපදවි 8 වෙනුවට 17ක් දක්වා එය වැඩි කරන ලෙස ප්‍රොපගැන්දාවට දැන්වීය. එහිදී ශ්‍රී ලංකාවද අනුපදවි දෙකකට බෙදන ලෙසත් කොළඹ හෙවත් දකුණු අනුපදවිය ගයිතානෝ අන්තෝනියෝ රදගුරුතුමන්ට හා ඔරතෝරියානුවන්ටද යාපනය (Jaffnapatam) ඉතාලි ජාතික ඔරාසියෝ බෙටකීනි ඇතුළු යුරෝපීය මිෂනාරිවරුන්ට ලබාදෙන ලෙස යෝජනා විය. මෙහි විශේෂත්වය වන්නේ බ්‍රාවි ඇතුළු අනුගාමික පිරිස මෙරටට 1845 දී පැමිණෙන විටත් ප්‍රොපගැන්දාව ලබා දී තිබුනේ දේශීයයන් පූජකවරය සඳහා පුහුණු කරවන දෙව්සත්හලක් ආරම්භ කිරීමය.
එසේම බෙටකීනිගේ තනතුර උසස් කිරීමත් සමග ඔහුගෙන් ඈත්වීමට හොඳම මාර්ගය අනුපදවි දෙකකට වෙන්කිරීම බව වටහාගත් ඔරතෝරියානුවන්ද ප්‍රොපගැන්දාවේ මෙම තීරණයට එකඟ වූ බවක් පෙනේ. ඒ අනුව 1847 දී රෝමය බලා ගිය බෙටකීනි රදගුරුතුමන් දිවයින පරිපාලනමය වශයෙන් අනු පදවි දෙකක් ලෙස බෙදා වෙන්කිරීමට සිය යෝජනා ඉදිරිපත් කරන ලදි. ඒ ඇසුරින් 1847 සැප්. 17 දින “Pro Apostolici Muneris” ලුහුඬුව මගින් ශ්‍රීලංකාව තුළ කොළඹ හා යාපනය ලෙස ස්වාධීන අනුපදවි දෙකකට බෙදා වෙන්කර යාපනයේ රදගුරු වීමට නියමිත (Pro- Vicar Apostolic) ලෙස බෙටකීනි නම්කරන ලදි. මෙම බෙදුම් කඩඉම මීගමුවෙන් ඇරඹී (යාපනය අනුපදවියට අයිති), නාලන්දාව සහ වේරුගල් ගඟ දක්වා මායිම් විය. බොහෝ අඩුලුහුඩුකම් සහිතවූ මෙම බෙදීම පිළිබඳව ඔරතොරියානුවන් කිසිසේත් එකඟ නොවූ අතර යුරෝපීය මිෂනාරීන් පවා එය වැරදි සහගත බව ලිපිමගින් රෝමයට දැන්වීය. භූගෝලීය වශයෙන්, ව්‍යවහර කෙරෙන භාෂාවන් අනුව ජනගහනයේ බෙදීම් සහ ආර්ථිකමය වශයෙන් අනු පදවි යුගලය සංසන්දනාත්මකව නැවත සලකා බලන ලෙසද වර්ධනය වෙමින් තිබූ “පද්‍රෝආදෝ” භේදය තව තවත් විශ්වසිකයින් අතරට පැතිරීම වැලැක්වීම සඳහා අනුපදවි භාර රදගුරුවරුන් දෙදෙනාගේම යෝජනාවලීන් සැලකිල්ලට ගෙන ඥානාන්විත සර්ව සාධාරණ තීරණයකට එළඹෙන ලෙස බ්‍රාවි පියතුමන් ප්‍රොපගැන්දාවට දැන්වීය. ඒ අනුව 1848 ප්‍රොපගැන්දාවෙන් යෝජිත වෙනස්කම්ද සහිතව එනම් පළාත් සීමාවලට අනුව දකුණු , බස්නාහිර සහ මධ්‍යම පළාත් කොළඹ අනුපදවියටත් උතුර, නැගෙනහිර සහ වයඹ පළාත යාපනය අනුපදවියටත් අයිති වන පරිදි අනුපදවි දෙක පිහිටුවීමට 1849 අගෝස්තු 01 “Probe nobis” ලුහුඬුවෙන් රදගුරුවරුන් දෙදෙනාට දන්වන ලදි. එමෙන්ම හිස් වූ කොළඹ අනුපදවියේ රදගුරු සහයක (Coadjutor) තනතුර සඳහා ජෝසප් බ්‍රාවි පියතුමා අනුයුක්ත කර ඇති බවද අනු පදවි දෙක අතර ඇතිවන ගැටළු සමතයකට පත් කිරීමේ වගකීමද එතුමා වෙතම පවරන ලදි.

නිර්මල මරිය නිකායික පියවරුන් මෙරටට පැමිණීම
1847 බෙටකීනි රදගුරුතුමන් රෝමයේ සිට නැවත මෙරටට පැමිණෙන ගමනේදී (ශු.)එව්ජින් ද මැසනඩ් රදගුරුතුමන් හට කළ ඉල්ලිමක ප්‍රතිඵලයක් වශයෙන් එවන ලද ස්ටීවන් සෙමේරියා පියතුමන් ප්‍රමුඛ නිර්මල මරිය නිකායික ධර්මදූත පියවරුන් සිව් දෙනෙක් සමග මෙරටට පැමිණීම හෙළදිව කිතු පුරාණයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරලීය. එමෙන්ම එම කණ්ඩායම සමග සිල්වෙස්ත්‍රීන නිකායික එමිලියානෝ මිලියානි(සිරිලක පැමිණි දෙවන සිල්වෙස්ත්‍රීන පියතුමා) සහ ඉතාලි ඔරතෝරියාන නිකායේ ශිෂ්‍ය එර්මිනෝ ගුයිඩි සමග කොළඹට පැමිණියහ. 1848 දී බෙටකීනි රදගුරුතුමන් සමග ඔවූහු සිව්දෙන (නි.ම.නි පියවරුන්) යාපනයේ සේවය සඳහා පිටත්ව ගියහ. මේ වනවිට ලංකාව තුළ යුරෝපීය මිෂනාරිවරුන්ගේ ගණන ක්‍රමයෙන් වර්ධනය වෙද්දී ගෝව ඔරතොරියානුවන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩුවෙමින් පැවතුනි.

බ්‍රාවි රදගුරු හිමිපාණන්ගේ එඬේරික සේවය
1850 ජනවාරි 13 දින ගරු ජෝසප් මරිය බ්‍රාවි පියතුමන්ව කොළඹ අනුපදවියේ රදගුරු සහයක (Coadjutor) සහ ටිපාසාහි නාමධාරී රදගුරු ලෙස කොටහේනේ ශු. ලුසියා ආසන දෙව්මැදුරේදී අතිගරු ගයිතානෝ අන්තෝනියෝ රදගුරු හිමිපාණන් විසින් අභිෂේක ගන්වන ලදි. ඉන් අනතුරුව එතුමා නැවතත් පිටකොටුව ශු. පිලිප්නේරි දෙව්මැදුරේම වාසය කිරීම සඳහා තෝරාගත්තේය. රෝමයේ මෙම පත්කිරීම සම්බන්ධව ඔරතෝරියාන පියවරුන්ගේ කිසි විරුද්ධත්වයක් නොපැමිණීම බ්‍රාවි රදගුරුතුමන්ගේ යහපත් හා සුහදශීලි දිවි පෙවතේ ආදර්ශය නිසා වීම මෙහි විශේෂත්වයි .
බ්‍රාවි හිමිපාණන් රදගුරුතුමෙකු ලෙස “තම සිහිනය” ලෙස හැදින්වූ ශු. පිලිප්නේරි දේවස්ථානය වර්තමානයේ පවතින පරිදි ඉතා ආකර්ශනීය ලෙස කොළඹ නගර මධ්‍යයේ යලි ඉදිකිරිම ආරම්භ කළේය.

බ්‍රාවි රදගුරුතුමන්ගේ සිහිනය වූ ශු. පිලිප්නේරි දේවස්ථානය- පිටකොටුව.

ඒ වගේම දකුණු අනු පදවියට පැමිණෙන යුරෝපීය මිෂනාරිවරුන්ට එහි මීසම් ගෘහයේ නවාතැන් සපයමින් ලංකාවේ ධර්මදූත සේවාව පිළිබඳ මනා දැනුමක් ලබාදුන්නේය. 1850-1858 කාලය තුළ කොළඹ අනුපදවියට පැමිණි යුරෝපීය මිෂනාරිවරුන්ගේ සංඛ්‍යාව දහසයක් විය. ඉන් සය දෙනෙක් සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන පියවරුන්ද සිව් දෙනෙක් නිර්මල මරිය නිකායික පියවරුන්ද තිදෙනෙක් ස්පාඤ්ඤ බෙනදිකාන පියවරුන්ද ෆ්‍රැන්සිස්කාන පියතුමෙක් ද ශු.ජෙරම්තුමාගේ නිකායේ පියතුමෙක් සහ තවත් එක් විදේශික පියතුමෙක් ද වුහ. මේ සමගම පූජක වරම් ලබා ශ්‍රි ලංකාවේ සේවය කිරීමට හැකි වූ ප්‍රථම ස්වදේශිකයා වන කොර්නේලියස් යුස්ටස් බ්‍රාන්ට්(C.J.B) ප්‍රනාන්දු පියතුමන්ද 1850 දී පූජාත්වරය ලබා 1854 සිට ලංකාවේ සේවය කළ අතර පසුව සිල්වෙස්ත්‍රීන නිකායට එකතුවිය. 1857 අතිගරු ගයිතානෝ අන්තෝනියෝ හිමිපාණන්ගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව දකුණු අනුපදවියේ ප්‍රථම යුරෝපීය රදගුරුවරයා ( Vicar Apostolic) වශයෙන් මෙතුමා කොළඹ අනුපදවිය භාරගත් අතර දුරදක්නා නුවණකින් යුතුව ඔරතොරියානුවන්ට නිසි සැලකිල්ලක් දක්වමින් අනුනායක (Vicar General ) තනතුර මතෙඕ ගයිතානෝ පියතුමන්ට පිරිනැමීම වැනි සිදුවීම් බ්‍රාවි හිමිපාණන්ගේ අවස්ථානෝචිත ප්‍රඥාව මැනවින් පෙන්නුම් කරයි.

කතෝලික අධ්‍යාත්මය හා බැඳුනු දේවස්ථාන සංගීතය, කතෝලික පොත්පත් කියවීම වැනි අංගයන් ජනතාව අතර ප්‍රචලිත කරනුවස් කුඩා සමාජයන් (clubs) ලියෝ චින්ගොලානි සා.බෙ.නි පියතුමන්(පසුකලෙක මඨාධිපති ලෙස පත් වූ ) සමග පිලිප්නේරි දේවස්ථානය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවීමද මෙම කාලයේ විශේෂ සිදුවීම් අතර විය.

අධ්‍යාපනය සඳහා බ්‍රාවි රදගුරුතුමන් ඉටු කළ මෙහෙවර පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කළහොත්, බීඩ් බාකට්ටා පියතුමන්ගේ අදහස අනුව බ්‍රාවි හිමිපාණන් වනාහි කතෝලික පූජක පක්ෂයෙන් කතෝලික දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනීසිටි ප්‍රමුඛතමයන්ගෙන් කෙනෙකි. රජයේ පාසල් කොමිසමේ සිටිමින් විශේෂයෙන්ම යාපනය අනු පදවියේ ආරම්භ කරන ලද කතෝලික පාසල් සඳහා රජයේ ආධාර ලබා ගැනීමට මෙතුමා සමත් විය. එමෙන්ම රජයේ පාසල් වල ඉගෙනුම ලබන කතෝලික දරුවන්ට ලබාදෙන පෙළපොත් වලින් ඔවුන්ගේ විශ්වාසයට හානියක් නොවනු සඳහා පෙළපොත් නිර්දේශ කිරීමටද මෙතුමා ක්‍රියා කර ඇත. එසේම රජයේ පාසල් වල උදෑසන ආගම් ඇදහීමේ කටයුතු වලින් කතෝලික දරුවන් හට අවහිරයක් නොවීමට ද මෙතුමා නොයෙකුත් යෝජනා ඉදිරිපත් කර ඇත. මේ කාර්යයන්ට අමතරව කොළඹ අනුපදවිය තුළ කතෝලික දරුවන් සඳහා වෙන්වනු පාසල් පද්ධතියක් ගොඩනැගීමේ වික්‍රමාන්විත පෙළහරේ පුරෝගාමියා වන්නේද මෙතුමාමය. රජයේ මෙන්ම තම ධර්මදූත සේවා ස්ථානවලින් ලැබෙන ආධාරද ඇතිව දෙමව්පියන්ගේද නොමසුරු ආධාරයන් ඔස්සේ පිරිමි හා ගැහැණු දරුවන්ට වෙන්වූ කතෝලික පාසල් සංඛ්‍යාව මෙම කාලයේදී ක්‍රමයෙන් වැඩි වර්ධනය වූ බව වාර්තා වලින් පෙනී යන්නේ මෙලෙසිනි. 1854 දී පාසල් 18, 1858 දී පාසල් 21 හා 1860 දී පාසල් 39ක් වශයෙන් තිබී ඇත.

බ්‍රාවි රදගුරුතුමන් දකුණු අනුපදවිය තුළ කළාවූ අනුපමේය සේවය මෙපමණකි යැයි තක්සේරු කළ නොහැකි තරම් සාධක විශාල ප්‍රමාණයක් පවතින බැවින් මෙහිදී ඉදිරිපත් කෙරුණු එතුමන්ගේ මෙහෙවරේ සුවිශේෂී අවස්ථාවන් ඉතා සුළු ප්‍රමාණයෙන් එතුමා ආරම්භ කළ යුග පෙරළිය පිළිබඳව සැලකිය යුතු මට්ටමේ ප්‍රතිරූපයක් ගොඩනගාගැනීමට යමෙකුට හැකියාව ඇත. 1860 වසරේ ඉතා දරුණු ලෙස අසනීප වීමෙන් පසුව සිය අනුපදවිය මතෙඕ ගයිතානෝ අනුනායක පියතුමන් හට භාර දී මෙතුමා ඉතාලිය බලා පිටත් වූ නමුත් එම ගමනේ අතරමග රතු මුහුද අසලදී අගෝස්තු 14 දින මෙතුමා ස්වර්ගස්ථ විය. මෙතුමාගේ දේහය සුවෙස් හි කතෝලික සුසානභුමියක මිහිදන් කළ නමුත් 1863 දී සිල්වෙස්ත්‍රීන පියවරුන්ගේ මැදහත් වීමෙන් මෙතුමාගේ දේහය ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව ජනවාරි 17 දින බ්‍රාවි හිමිපාණන් විසින් යලි ගොඩනැගූ පිටකොටුවේ ශු.පිලිප්නේරි දෙව්මැදුරේ ගෞරව බහුමානයෙන් යුතුව භූමදාන කරන කරන ලදී.

මීළඟ කොටසට….


ඩොම්. කෝකිල ප්‍රනාන්දු සා.බෙ.නි සහෝදරතුමා

Leave a Reply