සත්ප‍්‍රසාදයික ජනවන්දනා ඉතිහාසය තුළ දිදුලන බෙනදිකාන තාපස වේදය

0
725
(image courtesy: mbsbally.org)

හැඳින්වීම

ජනවන්දනාව යනු ක‍්‍රිස්තුන් වහන්සේගේ පාස්කු අභිරහස කේන්ද්‍ර කරගත් උන්වහන්සේගේ පූජක කාර්යය ජීවත් කිරිම බව දෙවන වතිකාන සමුළුවේ දේව වන්දනාව පිළිබඳ වේද සත්‍ය ව්‍යවස්ථාවේ අංක 7 අපට පෙන්වා දෙයි. එය ක්‍රිස්තු දේහය, ස්වකීය අතීන්ද්‍රීය බව කරණකොට ගෙන, ක්‍රිස්තුන් වහන්සේගේ අද්විතීය මධ්‍යස්ථ බව තුළින් පියාණන් වහන්සේට පුදන ප‍්‍රසිද්ධ සාංඝික ප‍්‍රශංසාවකි. කිතු දහමේ ආරම්භයේ සිට අද දක්වාම ක්‍රිස්තු භක්තිකයා මෙම සාංඝිික වන්දනාව පවත්වන්නේ වත් පිළිවෙත් අනුසාරයෙනි. පිළිවෙතක් ලෙස අරුත්ගැන්වෙන්නේ යම් ජන කොටසක ආගමික, සංස්කෘතික සහ සාමජයීය අනන්‍යතාව මත පදනම් වූ විධිමත් භාවාත්මක ක්‍රි‍යාවකි.

දිව්‍ය සත්ප‍්‍රසාද ජනවන්දනා ඉතිහාසය තුළ දිදුළන බෙනදිකාන තාපස වේදය යන තේමාව ඔස්සේ ලියැවෙන මෙම ලිපිය තුළින් මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ බටහිර (ලතින්) සත්ප‍්‍රසාද ජනවන්දනාවේ උන්නතිය සහ විකාසනය උදෙසා බෙනදිකාන තාපස සම්ප‍්‍රදායේ මෙහෙවරයි. එය විවිධ වූ දේශපාලනික, ආර්ථික, සාමාජයීය, හා භූගෝලීය විපර්යාසයනට ලක්වූ ජන සමූහයක සත්ප‍්‍රසාද ජනවන්දනාව තුළ කේන්ද්‍රගත වන ක්‍රිස්තු ධාර්මික සංකල්පනාවන් විධිමත්ව හා භාවාත්මකව හැඩ ගැන්වීමෙහි ලා තාපස සම්ප‍්‍රදායක සේවාව ඇගයීමකි. ඒ සඳහා භාවිත කිරීමට යෝජිත විධික‍්‍රම කොටස් තුනකින් සමන්විත යි.
1. දිව්‍ය සත්ප‍්‍රසාද ජනවන්දනා ඉතිහාසය හා එහි විකසිත වීම පිළිබඳ මූලික නිරීක්ෂණ.
2. ජනවන්දනාවේ ප‍්‍රබෝධය ඇති වූ තාපසාරාම හා සන්දර්භය.
3. සුවිශේෂී දේවධර්මධරයන්.

මෙම ප්‍රතිපාර්ශවීය විධික‍්‍රම උපයෝගී කිරීම තුළින් ඓතිහාසික අධ්‍යයනයක නිරන්තරව දක්නට ලැබෙන අභියෝග ගණනාවක්ම මග හැරෙයි. දිව්‍ය සත්ප‍්‍රසාද ජනවන්දනා ඉතිහාසය වෙනත් ඕනෑම ඉතිහාස අධ්‍යයනයක් සේ ම පැතිකඩ කිහිපයකින් අධ්‍යයනය කළ හැක. කාලක‍්‍රමානුගත අධ්‍යයනය මීට එක් නිදසුනකි. එවන් අධ්‍යයනයක විෂය පරාසය හා අන්තර්ගතය, දේවධාර්මික සඟරාවකට ලියැවෙන ලිපියක ප‍්‍රමාණය ඉක්මවා යයි. එහෙත් මෙම සගරාවේ පොදු තේමාවට ”දිව්‍ය සත්ප‍්‍රසාදයීය වසර” යන්නට අනුගත වන පරිදි මා භාවිත කරන්නේ කාලක‍්‍රමානුගත හා තේමාබද්ධ රිතීින් තුළ රැඳෙමින් සාකච්ඡාවට බඳුන්වන කාරණය පෙරදැරි කරගත් කාර්ය බද්ධ රීතියකි. එනම් ඓතිහාසික චරණය, ස්ථාන හා පුද්ගලයින් (මුඛ්‍ය චරිත) ගේ සංකලනයකි. එහෙයින් මෙම ලිපිය තුළ අනු – තේමා කිහිපයක් පවතී. ඉන් පළමු වැන්න සෘජුවම සාකච්ඡා කෙරෙන කරුණට අදාල නොවූවත් ඊට මනා පෙරවදනක් සපයයි. දිව්‍ය සත්ප‍්‍රසාද ජනවන්දනා ඉතිහාසය හා එහි විකාසනය පිළිබඳ මූලික නිරීක්ෂණ කිහිපයක් එහි අන්තර්ගත වෙයි. දෙවනුව මාගේ අවධානය යොමු වන්නේ බෙනදිකාන තාපස සම්ප‍්‍රදායේ සමාරම්භය වෙතට යි. බැලූ බැල්මට එය මෙම ලිපිය තුළ සාකච්ඡා කිරීමට අනවශ්‍යය කරුණක් ලෙස පෙනුනත් ශුද්ධවූ බෙනදික් තුමන් ස්වකීය නීතී සංග‍්‍රහය තුළින් ප‍්‍රකට කරන තාපස ජනවන්දනාවේ නෛතික පදනමේ ආභාසය පසුකාලීන සභා ජනවන්දනාවෙ’ ප‍්‍රවනතාවන් තුළ දක්නට ලැබීම, එවැනි විග‍්‍රහයක අවැසියාව පෙන්නුම් කරයි.

පොදු කරුණු කිහිපයක් ඔස්සේ දිවෙන මුල් කොටස් දෙකෙන් පසුව අප එලඹෙන්නේ ලිපියේ තේමාවට සෘජුවම සම්බන්ධ වන ක්‍ෂේත‍්‍රයට යි. එහිදී කැරොලින්ජියානු පුනරුදය තුළ දක්නට ලැබෙන ජනවන්දනාවේ ප‍්‍රබෝධය හා එහි බෙනදිකානු සලකුණු සාකච්ඡුාවට බඳුන්වෙයි. කැරොලින්ජියානු යුගයේ සෘජු ප‍්‍රතිඵලයක් වූයේ බෙනදිකාන නීතියේ පහසලත් පැහැදිලි, යථාර්ථවාදී තාපස ආධ්‍යාත්මිකතාවයක සමාරම්භය යි. මෙම ආධ්‍යාත්මිකතාව පසුකාලීනව ක්‍රිස්තු රාජ්‍යයේ නිකැළැල් බව උදෙසා දිවි පරදුවට තබා සටන් කිරීමට කිතුනුවන් මෙහෙය වූ ප‍්‍රබල, ඇතැම් විට තරමක් දැඩිමතධාරී වූ මතවාදයක් බිහිකිරීමට සමත් විය.

සිව්වන අනු තේමාව ඔස්සේ මා විවරණය කරන්නේ මෑත ක්‍රිස්තුධානියේ :”Late Christendom” සමාරම්භය යි. විටක ජනවන්දනාවේ ප‍්‍රතිසංස්කරණ වටා ගෙතුනු ආධ්‍යාත්මික ප‍්‍රබෝධය පසුව ධාර්මික යුද්ධ දක්වා වර්ධනය වීම තුළ සනාථ වන්නේ සභාවේ දැක්ම තුළ ඇතිවූ කැපී පෙනෙන රටා මට්ටම යි. එනම් අව්‍යාජ වූත් නිවහල් වූත් දේව වන්දනාව අභිබවා පැන නගින විජයග‍්‍රාහී සභාවකි. විවරණයට පාත‍්‍රවන බෙනදිකාන තාපසවේදයෙහි පරිහානිය සිදු වන්නේ මෙම පසුබිම තුළ යි. මධ්‍යතන ක්‍රිස්තු සභාව මුහුණ දුන් බුද්ධිවාදී දාර්ශනික ප‍්‍රබෝධය තුළින් පැන නැගි විද්‍යාත්මක විප්ලවය, යුරෝපයේ සමාජයීය – ආර්ථික පුනරුදය, රෙපරමාදු ප‍්‍රතිසංස්කරණ යනාදී සමාජ ප‍්‍රවනතාවල සෘජු ප‍්‍රතිඵලය වූයේ භාවාත්මක වත් පිළිවෙත් වලින් පොහොනි වූ ජනවන්දනාවක ප‍්‍රගමනය නොව ප‍්‍රධානකොට සභාවේදයෙහි හා පූජක විනයෙහි ප‍්‍රතිසංශෝධන ඇතිවීම යි. පස්වන සහ අවසාන අනු තේමාව යොමු වන්නේ ඉහත සඳහන් කළ ප‍්‍රතිසංශෝධන වල ආභාසය සභාවේ ජනවන්දනාව වෙත යොමු වූ අවස්ථාවක් වන ජනවන්දනා පුනරුදයේ ආරම්භය වෙතට යි. එහිදී ජනවන්දනා පුනරුදය තුළ කැපී පෙනෙන තාපසාරාම හා තාපසවරු පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි.

1. දිව්‍ය සත්ප‍්‍රසාද ජනවන්දනා ඉතිහාසයෙහි චරණය පිළිබඳ මූලික නිරීක්ෂණ කිහිපයක්…

දිව්‍ය සත්ප‍්‍රසාද ජනවන්දනා ඉතිහාසය අධ්‍යයනයේදී දක්නට ලැබෙන සුවිශේෂී නිරීක්ෂණ කිහිපයක් වෙත අවධානය යොමු කිරීමට මත්තෙන් එහි පෙළ ගැසීම පිළිබඳව රීතිමය සටහනක් අනිවාර්ය වේ. මෙහිදී මා විශේෂත්වයක් යොමු කරන්නේ මුල් ක්‍රිස්තියානි සංඝය තුළ දිව්‍ය සත්ප‍්‍රසාදයේ ස්වරූපයට නොව, බටහිර ලතින් ජනවන්දනාවේ උදාවත් සමග දිගහැරෙන දිව්‍ය සත්ප‍්‍රසාද ජනවන්දනාවට යි.

බටහිර, එසේත් නැතිනම් ලතින් ජනවන්දනාවෙහි නිශ්චිත ආරම්භයක් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම අපහසු වුවත් ක්‍රි.ව. 3 වන සියවස වන විට දිව්‍ය සත්ප‍්‍රසාද වන්දනාව ආශ්‍රිත වත් පිළිවෙත් සංඝය තුළ දක්නට ලැබුණු බවට සාක්ෂ්‍ය පවතී. සාසනික රචකයෙකු වූ ටර්ටූලියන් (ක්‍රි.ව. 160-220) හා කාර්තේජ් හී ශුද්ධවූ සිප‍්‍රියන් (මරණය ක්‍රි.ව. 258) මුණිවරුන්ගේ දිව්‍ය සත්ප‍්‍රසාද පිළිබඳ දේශන තුළ ඵකල පැවති ලතින් ජනවන්දනාවක් පිළිබඳව සඳහන් වේ.

ඒ කෙසේ වෙතත් සමකාලීන පර්යේෂකයන්ගේ නිගමනය වී ඇත්තේ ලතින් රීතිය කෙරෙහි බලපෑ විවිධ වූ සංස්කෘතීන්ගේ සංකලනය බාහිරින් පෙනෙනවාට වඩා සංකීර්ණ ස්වභාවයක් ගන්නා බව යි. ඔවුන් පවසන පරිදි බටහිර දිව්‍ය සත්ප‍්‍රසාද ජනවන්දනාව පදනම් වන රීතිමය පසුබිම සකස් වන්නේ අන්තියෝකය, ඇලෙක්සැන්ඩි‍්‍රයාව, බිසන්තියම වැනි පෙරදිග කි‍්‍රස්තියානි ගුරුකුල ආශ‍්‍රිතව බවත් පසුකාලීනව ඒවා රෝමයේ ජනවන්දනා චර්යාවන්ට බලපෑම් ඇතිකළ බවත් ය. ක‍්‍රිස්තු වර්ෂ 4න් පසුව රෝම රාජ්‍යයේ පරිපාලනමය විමධ්‍යගත කිරීමත් සමග පෙරදිග සහ අපරදිග කතෝලික පිළිවෙත්වල ජන්මය සහ ප‍්‍රවර්ධනය ආරම්භ වූ අතර, රෝමානු පිළිවෙත බොහෝ පෙරදිග කතෝලික පිිළිවෙත් සම්ප‍්‍රදායයන්ගෙන් දැඩි ලෙස ආභාෂය ලැබූ බව නොරහසකි.

පූර්ව මධ්‍යතන යුගයේ ආරම්භයත් සමග බටහිර දිව්‍ය සත්ප‍්‍රසාද ජනවන්දනා සම්ප‍්‍රදායක ආවේනික ලක්ෂණ පහල වන්නේ ක්‍රි.ව. 4-7 යුගයේදී සම්පාදනය වූ ලිඛිත මූලාශ‍්‍ර හේතුවෙනි. මෙම මූලාශ‍්‍ර අතර දිව්‍ය සත්ප‍්‍රසාද වන්දනාව සඳහා භාවිත වූ විවිධ යාච්ඤා ඇතුළත් ”සක‍්‍රමේන්තු පුස්තක” වැදගත් තැනක් උසුලයි. මෙම මූලාශ‍්‍ර විශ්ලේෂණයේදී අපට අනාවරණය වන්නේ එම පුස්තක, රෝම, ගලිකානු, ස්පාඤ්ඤ, ඉතාලි වැනි සම්ප‍්‍රදායන් කිහිපයක එකතුවක් බව යි. විශේෂත්වයක් වන්නේ මෙම පුස්තක තුළ ඇති සම්ප‍්‍රදායන් වලට ආවේණික අනන්‍යතාව ඒවා තුළ වෙන වෙනම දක්නට ලැබීම යි.

මධ්‍යතන දිව්‍ය සත්ප‍්‍රසාදයික ජනවන්දනා කතිකාවේ දේව ධාර්මික සීමාන්ත තීරණය කිරීමෙහිලා ක්‍රි.ව. 9 වන සියවසේ දී බෙනදිකාන තාපසවරුන් අතර හටගත් මතභේදයක් මෙහිදී සඳහන් කළ යුතුම ය. එය එක්තරා අන්දමකින් මධ්‍යතන බටහිර දිව්‍ය සත්ප‍්‍රසාද ජනවන්දනාව නිර්මාණය කිරීම උදෙසා බෙනදිකාන දායකත්වයට කදිම නිදසුනකි. දිව්‍ය සත්ප‍්‍රසාදය උදෙසාම කැපවූ ප‍්‍රථම විධිමත් ග‍්‍රන්ථය ප‍්‍රංශ බෙනදිකාන තාපසවරයෙකු වූ පස්කාසියස් රද්බෙර්තුස් ( ක්‍රි.ව. 785-865) අතින් නිමවෙයි. එහි සඳහන් වන ක්‍රිස්තුන් වහන්සේගේ දිව්‍යමය පැවැත්ම නියෝජනය වන පූප හා මිදිරස පිළිබඳ භෞතිකවාදී හා අධියථාර්ථවාදී පැහැදිලි කිරීම්වලට එරෙහිව නැගී සිටි තවත් ප‍්‍රංශ තාපසවරයෙකු වූ කොර්බීහි රත‍්‍රම්නුස් (c.870) නම් කැරොලින්ජියානු දේව ධාර්මිකයා පස්කායියස්ගේ සත්‍යය වැඩසිටීම : (Real presence) පිළිබඳ අනාධ්‍යාත්මික මත පිළිකුල් කරමින් ඒ වෙනුවට සංකේතාත්මක හා ආධ්‍යාත්මික අර්ථකථනයන් වෙත යොමුවෙයි. අවසානයේ දී රත‍්‍රම්නුස්ගේ මතය ප‍්‍රතික්ක්‍ෂේප වූ අතර ඉන් පසුව සියවස් 3 කට අධික කාලය තුළ දිව්‍ය සත්ප‍්‍රසාදයීය අංගයන් වන පූප හා මිදිරස ක්‍රිස්තුන් වහන්සේගේ භෞතික ශරීරය හා රුධීරය හා සම කිරීම නිරන්තරයෙන් සිදුවිය. මේ ඔස්සේ දිග හැරුණු කතිකාව හා එහි දිගු කාලීන ප‍්‍රතිඵල ‘කැරොලින්ජියානු පුනරුදය’ යන අනු තේමාව යටතේ සාකච්ඡා කෙරේ.

එකලොස්වන සියවස වත්ම බටහිර දිව්‍ය සත්ප‍්‍රසාද ජනවන්දනාවේ ව්‍යූහය යළි ස්ථාවරත්වයකට පත්වූ අතර එය යම් තරමක් දුරට රෝම පාලනය යටතට පත් විය. දිව්‍ය සත්ප‍්‍රසාද යාගය සිදු කිරීමේදී රෝමයේ එය සමරණ ආකාරය අනුගමනය කිරීමේ ප‍්‍රවණතාවක් ද ඇතිවිය. රෝමානු දිව්‍ය පූජා සංග‍්‍රහයේ ව්‍යාප්තියල ශුද්ධවූ කියවීම් විධිමත් වීම, දිව්‍ය පූජාවේ කොටස් ගායනා කිරීම යනාදී කරුණු කාරණා හේතුකොටගෙන බටහිර-රෝම-ලතින් දිව්‍ය සත්ප‍්‍රසාද ජනවන්දනා සම්ප‍්‍රදායේ ස්ථිතික ඒකරූපතාවයක් ඇති විය.

ඊළඟට එලඹි අපර-මධ්‍යතන යුගයේදී දිව්‍ය සත්ප‍්‍රසාදයීය ජනවන්දනාව බොහෝවිට තර්කවේදී ස්වරූපයක් ගත් අතර ඒ උදෙසා බලපෑ හේතූන් අතර දිව්‍ය සත්ප‍්‍රසාද ජනවන්දනාවේ අනිසි භාවිතය, ලෞකික භෞතිකවාදී අර්ථ දැක්වීම්, 13 වන සියවසේ ශුද්ධවූ තෝමස් ඇක්වයිනාස් ප‍්‍රමුඛව ඇතිවූ ශාස්තී‍්‍රයවාදී ගුරුකුලයේ පිබිදීම, අන්තර්භාව්‍යය පරිවර්තනය (Transubstantiation) පිළිබඳ අදහසේ ආරම්භය හා රෙපරමාදු සංශෝධන න්‍යායන්ගේ ව්‍යාප්තිය වැදගත් වෙයි.

ඉහත අවසානයේ සඳහන් වන 16 වන සියවසේ රෙපරමාදු සංශෝධනයෙහි බලපෑම කෙටියෙන් හෝ විග‍්‍රහ කළයුතු වන්නේ එහි ඔප්නැංවීම තුළ මෙම ලිපියෙහි ප‍්‍රධාන විෂය සන්දර්භයක් වන ජනවන්දනා පුනරුදයේ ඇරඹුම උදෙසා බලපෑ හේතු රාශියක් ගැබ්ව තිබීම යි. ඒ සමයෙහි සුලබ වූ අනාධ්‍යාත්මික දිව්‍ය සත්ප‍්‍රසාදයික භක්තීන් හමූවේ සංවිධානය වූ ප‍්‍රතිශෝධකයින්, දේව වචනයෙහි කේන්ද්‍රීයත්වය, යුක්ති සමර්ථනය හා දේව ජනතාවගේ පොදු පූජකවරය යනාදිය හුවා දක්වමින් දිව්‍ය සත්ප‍්‍රසාදය සංශෝධන කතිකාවේ ප‍්‍රධානතම තේමාව කරගනිමින් ඉන් නොනැවතී සක‍්‍රමේන්තු හා ඒවායෙහි දේවධාර්මික පදනම විවේචනය කරමින්, අන්තගාමී දේවධාර්මික තක්සේරුවක් මගින් කි‍්‍රස්තු සභාවට අභියෝග කළ අතර එම අභියෝගය භාර ගත් කි‍්‍රස්තු සභාව කතෝලික ප‍්‍රතිසංශෝධන ව්‍යාපාරය ඔස්සේ සභාව නව මගකට යොමු කරවීය.

17 හා 18 වන සියවස්වලදී ශක්තිමත්ව පැවති රෙපරමාදු සංශෝධනයේ ශක්තිය, ප‍්‍රතිසංශෝධන ව්‍යාපාරය හමුවේ හීනවත්ම බටහිර නූතන බුද්ධිවාදයට එරෙහිව, 19 වන සියවසේදී ක්‍රියාත්මක වූ දාර්ශනික ප‍්‍රවනතා සියල්ලකම බලපෑම එවකට ප‍්‍රචලිතව තිබූ දිව්‍ය සත්ප‍්‍රසාදයික බැතිය හා රීතියට දැනෙන්නට විය. මෙම දාර්ශනික ප‍්‍රවනතා අතර යුරෝපීය බුද්ධිවාදයට හා කාර්මික විප්ලවයට එරෙහිව නැගීසිටි රොමෑන්ටික්වාදය 18 වන සියවසේදී පිරිහුණු බෙනදිකාන තාපසාරාම ප‍්‍රකෘතිමත් කිරීමට ඉමහත් උත්සහයක නිරතවූ නමුත් කි‍්‍රස්තියානි වන්දනාවේ නිවහල්වූත්, අව්‍යාජවූත් ඓතිසාසික මූලාශ‍්‍ර සොයා යාමේ ඒ උකටලී උත්සහය සැබෑ ලෙසම මල්ඵල දරන්නේ, නූතන ජනවන්දනා කතිකාවට මග එළි පෙහෙළි කළ, 20 වන සියවසේ දී ඇරඹුණු ජනවන්දනා පුනරුදය තුළිනි.

ඒ පිළිබඳ විග‍්‍රහයක නිරතවීමට ප‍්‍රථමයෙන් මෙම ලිපියේ දෙවන වැදගත් සන්දර්භයක් වන බෙනදිකාන තාපසවේදයේ සමාරම්භය පිළිබඳව අදහස් කිහිපයක් කෙටියෙන් හෝ ඉදිරිපත් කිරීම යෝග්‍යය වේ.

මීළඟ කොටසට ….


ඩොම්. අරලිය ජයසුන්දර සා.බෙ.නි ගරු පියතුමා

(මෙම ලිපිය දහම් දියඹ කලාපයක මීට පෙර පළ වූවකි)

Leave a Reply