නිහැඬියාවේ අඬහැරය

0
320

එය මධ්‍යතන යුගයේ සැඳෑ සමයයි. ශු. සභාව තුල පැවිදි දිවියේ නව මංපෙත් විවර කරමින් නව යුගයක අරුණලු උදා වෙමින් පවතියි. මෙවැනි පරිස්ථිතියක් තුල නිර්මිත අසීසියේ ශු. ෆ්‍රැන්සිස්තුමන්ගේ දිළිදු ජීවන රටාව, පාදුවාහි ශු. අන්තෝනිතුමන්ගේ ව්‍යක්ත කථිකත්වය හා පෙළහර පෑම් පිළිබඳවද ශු. තෝමස් ඇක්වයිනස් හා ශු. දොමිනික් මුනිවරුන්ගේ ලොව සුපතල දේවවේදී ඉගැන්වීම් හා භක්ති අභ්‍යාස පිළිබඳව ප්‍රාමාණික දැනුමක් අප සතුය. එහෙත් මේ දිගහැරෙන නිහැඬියාවේ සොඳුරු අඬහැරය නම් ඊට හාත්පසින් වෙනස් වුවකි. මිනිස් දිවියේ සියුම් හා ගැඹුරුම ස්ථාන ස්පර්ශ කිරීමේ වඩා යෝග්‍ය මාර්ගයක් වූ නිහැඬියාව හා හුදෙකලාව, දෙවිඳුන් සොයා යාමේ මාර්ගයක් ලෙස පරිණාමනය කළ නූර්සියාවේ ශු. බෙනදික් මුනිදුන් අනුව යමින් තාපස දිවිය වැළඳගත් එතුමාණෝ නමින් ශු. සිල්වෙස්තර් ගුසොලිනී විය.

වර්ෂ 1177 ඉතාලියේ ඔසිමෝ නගරයේ උසස් ප්‍රභූ පැළැන්තියක දෙමාපියන්ට දාව මෙතුමා උපත ලැබිය.ස්වකීය පියාණන්ගේ අභිමතය පරිදි නිතිය හැදෑරීම සඳහා බොලොඤ්ඤ විශ්වවිද්‍යාලයට යැවුනද මෙතුමාගේ අභිප්‍රාය එය නොවූ හෙයින් පසු කලෙක මෙතුමා ඔසිමෝ හි ආසන දෙව්මැදුරේ ප්‍රධාන තේවාධුර(Canon) තනතුරෙහි සේවය කිරීමට යොමු වුයේ පියාගේ දැඩි විරෝධය මධ්‍යයේය. කලකට පෙර මියගිය තම ඥාතියෙකුගේ දිරාපත් වෙමින් තිබු දේහය දැකීමෙන් ගැඹුරු සිත්හැරීමකට ලක්වීම හා ශු.බෙනදික් තුමා දර්ශනය වී සිය තාපස නීති මාලාව ලබා දීම මෙතුමා වනවාසි තාපස දිවිය කෙරෙහි නැඹුරු වීමට අනුබල දුන් කාරණා විය. මෙතුමාණන්ගේ අති සුවිශේෂවූ ශුද්ධවන්තකම හා බැහැපත්කම ගම් දනව් සිසාරා පතළ වීමත් සමග මෙතුමා වටා විශ්වාසිකයින් රොද බැඳී අතර ඉන් බිහිවූ “මොන්ටෙ ෆානෝ හි බෙනදිකාන තාපස පන්තිය” ක්‍රි.ව. 1248 දී අති උතුම් IV ඉනසන්ට් සසුනිසුරාණන්ගෙන් ශුද්ධාසන අනුමැතිය ලබා ගත්හ.

ශු. බෙනදික්තුමාගේ නීති මාලාව අනුසාරයෙන් යාච්ඤාව, වැඩ කිරීම හා දේව වාක්‍ය මෙනෙහි කිරීම යන මූලිකාංග ඔස්සේ කීකරුකම, ස්ථාවරත්වය හා තාපස දිවියේ ධර්මගුණයන් හී පිහිටීම යන තාපස වේද භාරයන් ලබා ගැනීම තුළ නිහැඬියාව, සාංඝිකත්වය හා අපෝස්තලික තුළ දෙවිදුන් සොයා යෑමේ නොනිමෙන අභිප්‍රායෙන් සිල්වෙස්ත්‍රීන අධ්‍යාත්මය අලංකෘත වී ඇත්තේය.

මෙයින් සියවස් තුනකින් පසු ඇරඹි යුරෝපානු යටත්විජිත ක්‍රියාවලියේ මහඟු දායාදයක් ලෙස සිරිලක තුළ කිතු සසුන ව්‍යාප්ත වීම දැක්විය හැකිය. එසේ දළු ලා වැඩුනාවූ කිතු දහම තවත් එක යුරෝපීය ජාතියක් විසින් අකර්මන්‍ය කර දැමීමට මාන බලමින් සිටි අවධියක ශු. ජුසේ වාස් පියතුමා හා ඉන්දීය ඔරතොරියානු නිකායික පියතුමන්ලාගේ අප්‍රතිහත ධෛර්යය කරණකොට ගෙන යළි පණගැන්වීමේ යාන්ත්‍රණය ආරම්භ වී පැවතිණි. සිල්වෙස්ත්‍රීන තාපසවරුන් හෙළදිවට පා තබන්නේ මෙවැනි කාලවකවානුවකදී ය. හෙළ සසුන’ඹරේ සදා නොමියෙන දිනයක් ලෙස සනිටුහන් කරමින් 1845 අගෝස්තු 14 දින ගරු. ජෝසෙප් මරියා බ්‍රාවි පියතුමා කොළඹ වරායට ගොඩබසින්නේ ලක් දෙරණට පා තැබූ ප්‍රථම සිල්වෙස්ත්‍රීන පියනම ලෙසිනි. මෙසේ කොළඹ දකුණු අනුපදවිය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ සිල්වෙස්ත්‍රීන තාපස පියවරුන්ගේ දහම් සේවය මිගමුව සිට ගාල්ල දක්වා මුහුදු තීරයත් රට අභ්‍යන්තරයේ නුවර හා බදුල්ල සීමාවන් දක්වා ක්‍රමක්‍රමයෙන් විකාශනය විය.

සිරිලක දහම් සේවයේ සුවිශේෂී මං සලකුණු ඔස්සේ පා නගන කල නිතැතින් ඇස ගැටෙන සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන රදගුරු රන් දාමය පිළිබඳ සටහනක් තැබීමද අත්‍යවශ්‍යය. බ්‍රාවි රදගුරුතුමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙසින් සේවය සිදුකළ අති උතුම් හිලේරියන් සිල්ලානි රාජගුරුප්‍රසාදීන් වහන්සේගේ නිළ කාලය ශ්‍රී ලංකා කතෝලික සභාවේ ස්වර්ණමය යුගය ලෙස විද්වත් මතය ඉදිරිපත් ඇත. ඉන් අනතුරුව පැමිණි ක්ලෙමන්ට් පඤ්ඤානි රදගුරුතුමන් ශුද්ධාසනයේ අනුමැතියෙන් බිහි වූ නව රදගුරු පදවිය වූ මහනුවර පදවියේ ප්‍රථම රදගුරුතුමා ලෙස පත්විය. එලෙසම රදගුරු ධුරයට එසවුණු ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍යය ලද අති උතුම් බීඩ් බෙක්මියර් හිමිපාණන් ද පසුකාලීනව මහනුවර පදවියේ වතුකරයේ දිළිඳු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා වෙහෙසෙමින් දිළිඳු ජනතාවගේ රදගුරුවරයා යැයි විරුදාවලිය ලද අති උතුම් බර්නාඩ් රෙඤ්ඤෝ හිමිපාණන්ද සිල්වෙස්ත්‍රීනුවන් වීම විශේෂයකි. කාලීන අවශ්‍යතාවයක් මත බිහිවූ බදුල්ල පදවිය සඳහා පත්වූ ප්‍රථම රදගුරු ලෙසින්ද කිතු දහම දේශනුරුපිකරණයේ ප්‍රරම්භකයෙක් ලෙසින්ද හදුන්වන අති උතුම් ලියෝ නානායක්කාර රදගුරුතුමාද වර්තමානයේ රත්නපුර පදවි එඬේරාණන් ලෙස කටයුතු කරන අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන්ද ඉහත සඳහන් කළ රන් දාමයේ අවසාන පුරුක් යුගලය වෙයි. මෙකී සේවාවන්ට අමතරව බෙනදිකාන සම්ප්‍රදායේ උරුමයන් වූ ග්‍රෙගෝරියානු සංගීතය හා උතුම් ජනවන්දනාත්මක පිළිවෙත් තුළින් ලද අභාෂය දේශීය කිතුනු සංගීතය නව ආරයන්ට යොමුකරවීමේ ප්‍රාරම්භකයන් වීමටද පාසල් සේවය තුලින් අධ්‍යාපනය ඉහල තලයකට නැංවීමටද මොවුන් උත්සුක වුහ. ඊට නිදසුන් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම කතෝලික පාසල ලෙස ඉදිවූ කොටහේනේ සා. බෙනදික් විද්‍යාලය හා කටුගස්තොට සා අන්තෝනි විද්‍යාලයන් දැක්විය හැකිය.

මෙසේ දිගහැරෙන්නාවූ සිල්වෙස්ත්‍රීන ප්‍රෞඪ ඉතිහාසයට 2017 වර්ෂය වැදගත් වන්නේ මෙලෙසිනි. ඉන් පළමුවැන්න නම් අප සාන්තුවරයාණන් වූ ශු. සිල්වෙස්තර් ගුසොලිනිතුමන්ගේ සග උපතේ 750 වැනි ජයන්ති වර්ෂය යෙදී තිබීමය(ක්‍රි.ව.1267). දෙවැන්න නම් මනහර කඳු මුදුනක පිහිටියාවූ අප මවු ආරාමය වන මහනුවර අම්පිටියේ ‘මොන්ටෙ ෆානෝ’ තාපසාරාමය ආරම්භ කර වසර 90 සපිරීමයි. මෙහිලා සඳහන් කළ යුතු වැදගත් කාරණා කිහිපයකි. එනම්, වසර 700කට පසුව යුරෝපයෙන් පිට බිහිවූ ප්‍රථම බෙනදිකාන තාපසාරාමය වූ මහනුවර සා. අන්තෝනි මඨාධිපති ගෘහය (Abbey) එම පදවියට පවරා දීමෙන් පසු (වර්තමාන මහනුවර ආසන දෙව්මැදුර) එවකට සිටි ශ්‍රේෂ්ඨ පියතුමාණන් වූ අති ගරු. බොන්ෆිලියස් ගලස්සි සා.බෙ.නි. පියතුමාගේ මෙහෙයවීම පරිදි එවකට අම්පිටියේ පිහිටි ‘යටවර වලව්ව’ පවරා ගැනීමත් එය ප්‍රතිසංස්කරණය කොට 1927 නොවැම්බර් 25 දින “ශු. සිල්වෙස්තර් තාපසාරාමය, ‘මොන්ටෙ ෆානෝ’” නමින් ආසිරි ගැන්වීම සිදු කෙරිණි. පසුකාලීනව මෙයට එකතු ප්‍රධාන අංගනයන් අතරින් සම්ප්‍රදායික මහනුවර ක්‍රමයට ඉදිකළ ප්‍රධාන යාච්ඤා ගෘහය(1949) සුවිශේෂිත්වයක් හොබවන්නේ දෙවන වතිකානු කතිකාවට පෙර දේශානුරුපී ලක්ෂණ ඉස්මතු කරමින් ගොඩනැංවූ බැවිනි. එලෙසම 1977 දී ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී සළුවේ ඡායා පිටපත තැන්පත් කිරීම උදෙසා නිමැවුණු ශ්‍රී මුහුණ යාච්ඤා ගෘහයද 1989 දී ගොඩනැගුණු ධර්ම විවේක මධ්‍යස්ථානය හා 2011 දී නිමකෙරුණු සා. බෙනදික් පෞද්ගලික පාසල තාපසාරමයට අනුබද්ධිත අනෙකුත් මුලිකාංග ලෙස දැක්විය හැකිය. අවසන් වශයෙන් සිරිලක කිතු සසුනේ සේවය සඳහා කැපවී වසර එක්සිය පන් සැත්තෑ ජුබිලි මහෝත්සවය යෙදෙන්නාවූ 2020 ජුබිලි වසරට පිළිවෙතින් සූදානම්වීමේ තෙ අවුරුදු ප්‍රයාමනයේ ආරම්භය සනිටුහන් වන්නේද මෙම වර්ෂයේදීය.

අදට යෙදෙන අප මංගල දිනයේ දී නිරතුරු දේව මහිමය අත්දකිමින් එතුමාණන්ට පසස ගී ගයන්නටත් ඔබ වෙනුවෙන් චිරාත් කාලයක් කැපවී වැයවෙන්නට අවැසි වරම් අප හට ලැබෙන ලෙස දෙවිඳුන් යදින්නටත් අප හා අත්වැල් බැඳගන්නා ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.


ඩොම්. කෝකිල ප්‍රනාන්දු සා.බෙ.නි. සහෝදරතුමා

Leave a Reply